ජර්මනිය යුද අනාථයන් පිටුවහල් කරයි

Migrants Germany

සේයා: මයිකල් දාල්ඩර්|රොයිටර්ස්

ජනවාරි මුල් සතියේ සිට දෛනිකව ජර්මනිය විසින් යුද අනාථයන් බවට පත්ව සිටින විශාල සංක්‍රමණික ප්‍රජාවක් යළි ඔස්ට්‍රියාවට හරවා එවනු ලබන බව ඔස්‍ට්‍රියානු පොලිසිය පවසයි.

මෙසේ යළි හැරී එන්නවුන්ගෙන් අති බහුතරයක් දෙනාට කිසිමාකාරයක වලංගු කොළපත්‍ර නැති බවත්, සමහරුන් ස්කැන්ඩිනේවියානු රටවල හෝ සෙසු යුරෝපීය රටවල මිස ජර්මනියේ සරණාගතභාවය ඉල්ලීමට කැමැත්තක් නැති අය බවත් ඔස්ට්‍රියානු පොලිසිය වැඩි දුරටත් සඳහන් කර සිටී.

මේ සියලු දෙනාම යළි හැරී එන්නේ අධික ශීතලක් සහිත හිම සහිත පසුබිමක බැවින් ප්‍රශ්න රැසකට මුහුණ දීමට ඔස්‍ට්‍රියාවට සිදුව තිබේ.

‘‘මෙසේ හරවා යැවෙන අති බහුතරය සිරියානු යුද අනාථයන් නොවෙයි. ඔවුන් බොහෝ විට ඇෆ්ගනිස්ථාන, මොරොක්කෝ සහ ඇල්ජීරියානුවන්. මෙම ප්‍රමාණය දිනෙන් දින ඉහළ යනවා‘‘ යැයි ඉහල ඔස්ට්‍රියානු ප්‍රාන්තයේ පොලිස් ප්‍රකාශක ඩේවිඩ් ෆුර්ට්නර් මාධ්‍යයට පවසා තිබුණි.

ජර්මනියේ පවා සිරියානු යුද අනාථයන්ට බොහෝ විට දේශපාලන රැකවරණ පිරිනැමෙන බව මෙම මාධ්‍ය වාර්තා තහවුරු කරයි.

කොලෝන් ගැටුම

තත්වය වඩා තීව්‍ර වීඇත්තේ ජර්මනියේ, කොලෝන් නගරයේ අලුත් අවුරුදු පූර්ව සන්ධ්‍යවේ ඇති වූ සිද්ධිය නිසා ය. ඉන් අනතුරුව ජර්මනියේ බොහෝ නගර පුරා මෙම සංක්‍රමණිකයන්ට විරුද්ධව පැමිණිලි ගොනු කිරීම ඉහළ නැගුණි.

මේ පැමිණිලි සංඛ්‍යාව 500ද ඉක්මවා ගිය අතර එහි විශේෂත්වය වන්නේ ඉන් 40%ක ප්‍රමාණයක්ම ලිංගික බලහත්කාරය පදනම් වීමයි.

ජර්මන් රාජ්‍ය නායිකාව

ජර්මන් සමාජය තුළින් ආ මෙම පීඩනය හේතුවෙන් ජර්මානු චාන්සල්වරිය වන ඇන්ජෙලා මර්ල් හට මෙම යුද අනාථයන් පිටුවහල් කිරීමට අනුමැතිය ලබා දීමට සිදුව ඇත.

ජර්මන් නිලධාරියෙක් කොලොන් සිද්ධිය පිළිබඳව ප්‍රසිද්ධියේ පවසා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ යැයි සැක කෙරෙන සියලු දෙනාම උතුරු අප්‍රිකානු හෝ අරාබි පසුබිමක සිට සංක්‍රමණය වු අය බවයි.

පුද්ගලයන් 19 දෙනකු සම්බන්ධව පොලිස් පරීක්ෂණ සිදු කෙරෙන බවත් ඒ අතර කිසිම ජර්මන් ජාතිකයකු නැති බවත් වාර්තා වේ.

අනවසරයෙන්

ජර්මනියේ නිල වාර්තා වල සඳහන් වන අන්දමට මින් 14 දෙනෙකුම මොරොක්කෝ හා ඇල්ජීරියානු ජාතිකයන් ය.

සැකකරුවන් දස දෙනකුම දේශපාලන රැකවරණ පැතූවන් වන අතර ඉන් නම දෙනකුම ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු ජර්මනියට පැමිණියවුන් ය.

සැකකරුවන් 19 දෙනාගෙන් ඉතිරි 9 දෙනා අනවසරයෙන් ජර්මනිය තුළ රැඳී සිටිනවුන් බව ජර්මනියේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණි.

2015 දී පමණක් යුද අනාථයන් ලක්ෂ 11ක ප්‍රමාණයක් ජර්මනියට සංක්‍රමණිය වී තිබේ.

Related posts

Comments are closed.

Top