ප්‍රංශ වාසී ලාංකික සිනමාකරුට ස්පාඤ්ඤ සම්මාන | VIDEO

reshan fernando edited

දෙමාපියන් එකිනෙකා වෙතින් වෙන් වීමෙන් පීඩාවට  පත් දරුවකු  වටා  ගෙතුණු “ග්ලූමි බෝයි” (Gloomy Boy)  කෙටි  සිනමාපටය යළිත් සම්මානයෙන් පිදුම් ලබයි.

 

ප්‍රංශයේ  සිනමාව හදාරණ ශ්‍රීලාංකික සිසුවෙකු වන රෙෂාන් ප්‍රනාන්දු විසින් ජංගම දුරකථනය භාවිතයෙන් නිපදවා ඇති මෙම චිත්‍රපටය පසුගිය දින ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවති  2016 ජාත්‍යන්තර  ළමා  උළෙලේදී   හොඳම  නළුවාට හිමි සම්මානය දිනා  ගැනීමට සමත් විය.

 

රටවල් 73 ක් නියෝජනය කරමින් සිනමා නිර්මාණ 700 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරනු ලැබූ මෙම සිනමා උළෙලේ අවසන් වටය සඳහා රටවල් 12 ක සිනමාකරුවන්ගේ නිර්මාණ 15 ක් නිර්දේශ වී ඇත.

 

මෙම සිනමා පටයට පකිස්ථානයේ කරච්චි නුවර  පැවති 2015 කෙටි සිනමා සම්මාන උළෙලෙලදී හොඳම නිර්මාණය ලෙස සම්මානයට පාත්‍රවුයේ මීට සති කිහිපයකට පෙරය.

නළු කමින් අදියුරු කමට

 

“මම පාසැල් යන  කාලේ  ඉඳලම රඟපාන්න  තමයි  වැඩි කැමැත්තක් තිබුනේ. නාලන් මෙන්ඩිස් නිර්මාණය කරපු ටෙලිනාට්‍යක මුලින්ම රඟ පෑවා. ඊට පස්සේ වෙළඳ දැන්වීම් කිහිපයකට ත් පෙනී හිටියා. ඒත් දිගින් දිගටම සිනමාව ගැන අධ්‍යයනය කරද්දී මට පෙනී ගියේ නළුවෙක්  විදිහට වඩා සිනමා අධ්‍යක්‍ෂ කෙනෙක් විදිහට වෙනස් දෙයක් කරන්න හැකියාව වැඩියි කියල. ඒ හින්දා මම උසස් පෙළ විභාගයෙන් පස්සේ ටෙලිවිව් ආයතනයේ සිනමා ඩිප්ලෝමාව කරා.” සිය සිනමා දිවියේ  ඇරඹුම ගැන   රෙෂාන් ප්‍රනාන්දු එසේ පැවසුවේ ගගන සමඟ  කෙටි කථා බහකට එක් වෙමිනි.

 

ටෙලිවිව් සිනමා ඩිප්ලෝමාවෙන් පසු කෙටි සිනමා පට දෙකක් ඔහු වෙතින් නිර්මාණය කෙරිණි. ඒ 2009 වසරේදී.

 

ඒ අතරින් වඩාත් කතාබහට ලක් වුනු  “ මැයි 20”  කෙටි සිනමා පටයට රොෂාන් රණවන, නිල්මිණි බුවනෙක හා දෙවනුක පෝරගේ  වැනි රංගන ශිල්පීන් සිය  දායකත්වය නොමිලේ ලබා දුන් බව රෙෂේන් පවසන්නේ ස්තූති පුර්වකය. ඔහුගේ නිර්මාණ බොහොමයක සංවාදයට ලක් වන්නේ කුඩා  ළමයින් මුහුණ දෙන ගැටළුය.

සිනමාව උපන් රටට

 

“ මගේ මැයි 20  කෙටි සිනමා පටය ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයකට ඉදිරිපත් කරා. 2009 දී  ඇමෙරිකාවේ තිබුණු සිනමාව හදාරණ සිසුන් වෙනුවෙන් පැවති සිනමා උළෙලට මගේ සිනමා පටයත් තෝරා ගත්තා. එය එහි ප්‍රදර්ශණය කරා. මේකත් එක්ක මට එහිදී වැඩි දුර සිනමාව හදාරන්න ශිෂත්වයක් ලැබෙනවා. ඒ සමගම විමුක්ති ජයසුන්දර කථා කරනවා එයත් එක්ක වැඩ කරන්න, දෙරණ  රූපවාහිනියෙන් කථා කරනවා. ඒත් මට ඕනේ වෙලා තිබුනේ සිනමාව ගැන තව දුරටත් ඉගෙන ගන්න. ශිෂ්‍යත්වය වෙනුවෙන් තෝරා ගන්න රටවල් පහක් නම් කරලා තිබුණා. ඒත් මම තෝරා ගත්තේ ප්‍රංශය. ඒ සිනමාව උපන් රට හින්දා.”

 

2010 වසරේ සිට  පැරීසියේ සිනමා පාසලේ සිනමා අධ්‍යක්ෂණය පිලිබඳ උපාධි පාඨමාලාව හදාරන අතරේ  ඔහු විසින් ජාත්‍යන්තර පාසලක සිසු සිසුවියන් වෙනුවෙන් වේදිකා රංග කලාව පිලිබදව ඉගෙන්වීමට අවස්ථාවක් හිමි කර ගනී.

 

එම සිසු සිසුවියන් යොදා ගනිමින් සම්මානයට පාත්‍ර වූ ග්ලුම් බෝයි නිර්මාණය කෙරිණි.

 

ලෝකය පුරා ළමා ගැටළු 

“ මේ නිර්මාණයට තේමා වන්නේ යුරෝපය වගේම  ලෝකය පුරාම ළමයින් මුහුණ දෙන ගැටළුවක් වන  කුඩා කාලයේදීම අම්මා තාත්තා  වෙන්වීම නිසා ඔවුන් පීඩා විදින මානසිකත්වය. මම  හිතන්නේ  මේ කතාව බොහෝ  දෙනකුට  වැදුනා.”

 

2013 දී නිර්මාණය කෙරුණු ග්ලූම් බෝයි (gloomy boy)  විසින් අයි පෝන්  සිනමා උළෙල-  නිව්යෝර්ක්, සිනේ පෝන්  සිනමා උළෙල – බාර්සිලෝනා, මොබයිල් පෝන් සිනමා උළෙල – සන්තියාගෝ ආදිය  නියෝජනය කෙරිනි.

 

“ ඇත්තම මම සතුටු වෙනවා හොඳම නළුවාට හිමි සම්මානය ග්ලුමි බෝයි ට ලැබුනට මොකද මේ රංගනය ඉදිරිපත් කළ කුඩා දරුවා තාත්වික රංගනයක යෙදුනා.”

 

සිනමාව හැදෑරීමට ප්‍රංශයට පැමිණි විසිහත් හැවිරිදි රෙෂාන් ප්‍රනාන්දු මේ වනවිට ප්‍රංශය සිය නිවහන කරගෙන අවසන්ය.

 

“ ඉදිරියේදීත්  මම බලාපොරොත්තුවෙන්නේ  කුඩා ළමුන් පදනම් කරගෙන කෙටි සිනමා නිර්මාණ කරන්න. විශේෂයෙන් ලෝක සාමය ගැන කථා කරන්න. කොහොමත් මගේ සිනමා දිවිය  ඔපවත් කර ගන්න නම් මම ප්‍රංශයේ  රැඳෙන්න  ඕනේ.” ඔහු වැඩි දුරටත් පැවසීය.

Related posts

Comments are closed.

Top