මහනුවර ඩෙංගු අධි ආරක්ෂක කලාප දහ තුනක්

The-mosquito

මහනුවර  දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 13ක්  ඩෙංගු අධි අවදානම්  කලාප ලෙස නම් කොට ඇති බව දිස්ත්‍රික් වසංගත රෝග  වෛද්‍ය නිලධාරියා  පවසයි.

මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු යැයි සැකකරන රෝගීන් 1,597ක් වාර්තා වී ඇති  අතර ඉන්  අටදෙනෙකු  මරණයට පත්ව ඇති බවයි  වෛද්‍ය නිලධාරී සමීර හේවගේ වැඩි දුරටත් පවසන්නේ.

තමන්ගේ විෂය පථය හා තනතුරු ආදිය නොසලකා  මහනුවර දිස්ත්‍රික්කයේ සේවය කරන  සියලු රජයේ  නිලධාරින් ඩෙංගු වසංගත තත්ත්වය  පාලනය කිරීම සදහා  සක්‍රීයව දායක වෙන ලෙස  මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර  රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

දිස්ත්‍රික් ලේකම් වරයා විසින් මෙම ඉල්ලීම කරනු ලැබුයේ 12 අඟහරුවාදා   පැවති  මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට  සහභාගි වෙමින් බව රජය පවසයි.

ඩෙංගු වසංගතය ව්‍යාප්තියෙන් මහනුවර දිස්ත්‍රික්කය  රටේ 6 වැනි තැන සිටින අතර  මෙම තත්වය අවම කරගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් සකස් ක‍ර ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය එහිදී  සදහන් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ‍ඩෙංගු මැඩීම සදහා ධුමායන කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍ර  පළාත් පාලන ආයතන මගින් නොමිලේ ලබා දීමට  කටයුතු කරන ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රී  ලකී ජයවර්ධන විසින්  මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයා වෙත උපදෙස් දී ඇති බව රජය වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

Comments are closed.

Top