මහරගම “අපේක්ෂා” රෝහලට ඇටමිදුළු බද්ධ කිරීමේ පහසුකම්

12f834ea9b29ab104dcca5bbbb5606a6_XL

ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මයන් මහරගම අපේක්ෂා රෝහලේ දී ආරම්භ කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

මෙම ශල්‍යකර්මයන් ඔස්ට්‍රේලියාවේ වින්ස්ටන් රෝහලෙහි මහාචාර්ය එම්.ඒ. ඩේවිඩ් (Prof. M. A. David)  ගේ මඟපෙන්වීම යටතේ සිදු කරන  බවයි රජය පවසන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ඇටමිදුළු පිළිකාවන්ගෙන් පෙළෙන රෝගීන් සඳහා ඇටමිඳුළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම ප්‍රථම වරට සිදු කිරීමට නියමිතව තිබේ.

මේ වන තුරු එවන් රෝගීන් සඳහා ඇටමිඳුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මයන් සිදු කරනු ලැබුවේ සිංගප්පූරුව හෝ ඉන්දියාව වැනි රටවලින් වන අතර ඒ සඳහා රුපියල් මිලියන 30 – 40ත් අතර මුදල් වැය  වන බව රජය පවසයි.

මහරගම අපේක්ෂා රෝහලෙහි මෙම ශල්‍යකර්ම සිදු කිරීම සඳහා මේ  වන  විට පොරොත්තු ලේඛනයේ පසුවන 100ක් පමණ වන රෝගීන්ගෙන් තෝරාගන්නා පිරිසක් ප්‍රථමවරට මේ සඳහා භාජනය කිරීමට නියමිතව තිබේ.

විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පුහුණුව සඳහා ඔස්ට්‍රේලියාවේ වින්ස්ටන් රෝහල වෙත යැවීමට නියමිතව ඇත.

ඇටමිඳුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මයන් ක්‍රම දෙකක් යටතේ සිදු කරනු ලැබේ.

රෝගියාගෙන් ම ලබාගත් ඇටමිඳුළු බද්ධ කිරීම ප්‍රථම ව සිදු කිරීමට බලාපොරොත්තු වන අතර ඉන් අත්කරගත් සාර්ථකත්වයෙන් අනතුරුව පරිත්‍යාගශීලියෙකුගෙන් ලබාගත් ඇටමිඳුළු බද්ධ කිරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව රජය වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

Comments are closed.

Top