පිටස්තරයන් පිටු දැකීම අපටම හානි කර ගැනීමක්: හරුකි මුරකමි

Murakami with Hans

ලොව පුරා මෙන්ම ශ්‍රී ලාංකික සාහිත්‍ය ලෝලීන් අතර ද මහත් ගෞරවාදරයට පත් ජපන් ලේඛක හරුකි මුරකමි පසුගිය ඔක්‍තෝබර් මාසයේ හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සාහිත්‍ය සම්මානයෙන් පුදලැබූ අතර එය පිළිගනිමින් ඔහු කළ කතාව වත්මන් ගෝලීය දේශපාලන වාතාවරණය තුළ බොහෝ සාහිත්‍ය වේදීන්ගේ පමණක් නොව දේශපාලන විචාරකයන් ගේ ද නොමඳ අවධානය දිනා ගත්තේය.

“අපි  පිටස්තරයන්  ගෙන් ඈත් වී ඉඳීමට කෙතරම් නම් උස් ප්‍රාකාර තැනූවද,  අපි කෙතරම් නම් පිටස්තරයන් අපෙන්  ඈත් කොට තැබීමට වෑයම් කළද අප අපට ගැළපෙන ආකාරයෙන් අපේ ඉතිහාසය නැවත නැවතත් ලිවීමට උත්සාහ කළද  එය කෙළවර වන්නේ අපටම  හානි කරගැනීමෙන් සහ රිදවා ගැනීමෙන්,” යයි ඔහු අනතුරු අඟවයි.

“සෑම අයකුටම සෙවණැල්ලක් තිබෙන්නාක් මෙන්, සෑම සමාජයකටම සහ ජාතිකයකටම සෙවණැල්ලක් තියෙනවා. ‍එමෙන්ම යම් කිසිවක ආලෝකමත් පක්ෂයක් ඇත්නම් එයට ප්‍රතිවිරුද්ධ අන්ධකාර පක්ෂයක් ද සැමවිටම පවතිනවා. එක් පසෙක ධනාත්මක දේ ඇත්නම් එයට ප්‍රතිවිරුද්ධ පස සෘණාත්මක දේ ද දක්නට හැකියි.  අප බොහෝ විට  සෙවණැල්ලෙන් ‍හෝ  ‍සෘණාත්මක දේවලින්  අපේ දෑස් ඉවතට ගන්නවා. නැතිනම් බලහත්කාරයෙන් ඒ දේවල් ඈත් කොට තබා ගන්නවා. මන්දයත්, මිනිසුන්ට නිතරම උවමනා කරන්නේ තමන් තුළ ඇති අඳුර හෝ නිෂේධනාත්මක දේ දෙස නොබලා ඉන්නයි. නමුත් කිසියම් රූපයක් එහි නියම ඝනකමින්, ත්‍රිමාණීය ගුණයෙන්  යුක්තව දිස් වීමට නම්, ඔබට සෙවණැලි අත්‍යාවශ්‍යයි. ඔබ සෙවණැල්ලෙන් ඈතට යන්නේ නම්  ඔබ පැතලි මායාවක් තුළ නතර වනු ඇති. සෙවණැලි මතු නොකරන ආලෝකය කිසිවිටක සැබෑ ආලෝකයක් වන්නේ නැහැ.” හැට හත් හැවිරිදි නවකතාකරු පවසයි.

සෙවණැල්ල සමග ජීවත් වීම

ඔහු තවදුරටත් මෙසේ ද කියයි. “ ඔබට  ඉතා ඉවසීමෙන් ඉගෙන ගන්න වෙනවා ඔබ කොහොමද ඔබේ සෙවණැල්ල සමඟ ජීවත් වෙන්නෙ කියන එක.  ඔබ තුළ පැළපදියම් වී ඇති අන්ධකාරය ඔබ ඉතා පරිස්සමින් නිරීක්ෂණය කරන්න. බාගවිට ඔබගේ ජීවීත‍යේ එක්තරා අඳුරු උමං මඟකදී ඔබගේම අඳුරු පස ඔබට සම්මුඛ වනු ඇත”

හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සාහිත්‍ය සම්මානලාභියා ලෙස මුරකමි ගේ නම මිට වසරකට පෙරාතුව ප්‍රකාශයට පත් කළ ද සම්මානය පිරිනමන ලද්දේ පසුගිය ඔක්තෝබර් මාසයේය. “ ඇන්ඩර්සන්ගේ නාමය සහ කෘතීන් සමඟ කිසියම් සැබැඳියාවක් ඇති කර ගත හැකි ශානරමය, කතා කීමේ හෝ කලාත්මක ගුණයේ ඇති සමානකම්” වෙනුවෙන් පිරිනැමෙන ඩෙන්මාර්ක් ක්‍රොනර් 500,000 ක් වටිනා එම සම්මානයෙන් මිට පෙර Harry Potter  කතා මාලාවේ නිර්මාතෘ වරිය  ‍ජේ. කේ රෝලින් සහ සල්මන් රුෂ්ඩි, ඉසබෙල් අයියන්දේ සහ පාවුලෝ කොඑයෝ පිදුම් ලැබුහ. මුරකමි එම සම්මානයෙන් ගෞරවයට පාත්‍ර වුයේ  එහි විනිශ්චය කරුවන් පවසන පරිදි, “ සම්භාව්‍ය කතා කීමේ කලාව, ජනප්‍රිය සංස්කෘතිය, ජපන් සම්ප්‍රදාය, සිහිනමය යථාර්ථවාදය සහ දාර්ශනික සංවාද අව්‍යාජ ලෙස එකිනෙක හා සම්මිශ්‍රණය කිරීමේ,” මුරකමි සතු පරිචය විසින් ඔහු  ඇන්ඩර්සන් ගේ දායාදයට උරුම කම් කීමට සුදුසුකම් ලබා ගත් නිසයි.

“භාෂා නිපුණත්වයෙන් පැන නැගෙන, ‍එදිනෙදා ජීවිතය සහ යථාර්ථය, මායාව සහ සුරංගනා කතා සමඟ මුහු කිරීමේ මුරකැමි ගේ අපූරු හැකියාව කෙනකුට හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් පිළිබඳ නැවත සිහිපත් කරවයි. මුරකමි ගේ නිර්මාණ තුළ  පැහැදිලි කාව්‍යාත්මක ගුණයකින් යුත් ස්වාභාවික දසුන්, නගර දර්ශන, භූමි දර්ශන වල විස්තර  බහුලව දක්නට ලැබෙනවා,” යි දකුණු ඩෙන්මාර්ක් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක  සහ හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සම්මාන කමිටුවේ සාමාජිකාවක වන ඈන් මේරි මෙයි සම්මාන ප්‍රදාන උත්සවයේ පවත්වන ලද කතාවක දී සඳහන් කොට සිටියාය.

Murakami books edited

Norwegian Wood, Kafka on the Shore වැනි ලොව පුරා සාහිත්‍ය ලෝලින් අතර මහත් පැසසුමට ලක් වූ කෘති වල නිර්මාණකරු වූ මුරකමි,  හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ  The Shadow නම් වු කතාන්දරය සිහිපත් කරමින්  එම සම්මාන උළෙලේදි  ඔහු කළ කතාව නම් කරනු ලැබ ඇත්තේ ද, The Meaning of Shadows නමිනි.

ඇන්ඩර්සන්ගේ කතාව

ඇන්ඩර්සන් ගේ එම කතාන්දරයේ දී,  එක් මිනිසෙක් සිය සෙවණැල්ල පලවා හරියි. අනතුරුව අනුක්‍රමයෙන්  මිනිස් වේශයකට පත් වන අතර අවසානයේදී සෙවණැල්ල තම පැරණි ස්වාමියා මරා දමයි.

මුරකමි එය ‘අඳුරු සහ බලාපොරොත්තු සිඳුණු’ කතාන්දරයක් ලෙස හඳුන්වා දුන් අතර  තමා ඉදිරියේ හුන් ප්‍රේක්ෂාගාරය අමතමින් කියා සිටියේ “යම් විටෙක ගැඹුරු තැනක දී ඔබට ඔබගේ ජීවිතයේ අඳුරු පක්ෂය හා ගැටීමට සිදුවනවා,” යන්නයි.

“ඔබගේ සෙවණැල්ල වැඩී, ශක්තිමත් වීම‍ට ප්‍රථම ඔබ ඔබේ සෙවණැල්ලට සම්මුඛ නොවේ නම්, එක් රාත්‍රියක එය පැමිණ ඔබගේ නිවසේ ද්වාරයට තට්ටු කර මෙසේ  කොඳුරනු ඇත. “ මම ආපසු ආවා.”

මුරකමි තම ලීවීමේ කාර්යය පිළිබඳවද කිසියම් චිත්‍රයක් මවා පෑමට  එම අවස්ථාව යොදා ගත්තේය. රැස් ව සිටියවුන් අමතා ඔහු පවසා සිටියේ, කිසියම් නිර්මාණයක්  ඔහු ආරම්භ කරන මොහොත වන විට ඔහු සතුව, කතා වස්තුව තුළ දිග හැරෙන සිදු වීම් පෙළක් පිළිබඳ සැලැස්මක්  නැති නමුදු,  කිසියම් සිදුවීමකින් හෝ අදහසකින්  ඔහු එය ආරම්භ කරන බවයි.

“මම ලියන විට කිසියම් සිදුවීමක‍ට හෝ අදහසකට එහිම කැමැත්තට අනුව හැසිරෙන්න ඉඩ දෙනවා.  මගෙ ඔළුව පාවිච්චි කරනවා වෙනුවට, වෙනත් වචන වලින් කියතොත්, එය සිදු වන්නෙ මම හිතන දේ අනුව මගෙ අත ක්‍රියාත්මක වීමයි.  ඒ මොහොතේ දී, මගෙ සවිඥාණය තුළ කුමක් සිදුවන්නේ ද යන්න පිළිබඳ මම අවිඥානික වීම ගැන මම සතු‍ටුයි.”

කියවීමේ නිවැරදි ක්‍රමවේදය

විචාරකයෝ සහ පාඨකයෝ, “කතා කියවන්න නැඹුරු වෙලා තියෙන්නේ විශ්ලේෂණාත්මකව” ඔහු කියයි. “ඔවුනට එය පාසලින් හෝ සමාජය විසින්  හුරු කරවලා තියෙනවා. එය තමයි නිවැරදි කියවීමේ ක්‍රමවේදය. මිනිසුන්  පෙළ විවේචනය  හෝ විශ්ලේෂණය  කරනවා ආධ්‍යාපනික, සාමාජීය හෝ මනෝවිශ්ලේෂණාත්කම දැක්මකට අනුව.

එහෙත් යම් හෙයකින් නවකතාකරු කතාන්දරය විශ්ලේෂණාත්මකව ‍‍‍ගොඩ නඟන්නේ නම් එම කතාවට හිමි නෛසර්ගික ඕජෝ ගුණය අහිමි ව යනවා. මක්නිසාද යත් ලේඛකයා සහ පාඨකයා අතර සහකම්පනය ඉන් පැන නොනඟින නිසා.”

“නිතරම අපි දකිනවා,  විචාරකයන් ලොකු ඝෝෂාවක් එක්ක පැසසුමට ලක් කරන නිර්මාණ විශේෂයෙන් ම පාඨකයන් ගේ සිත් ඇඳ බැඳ ගත් ඒවා නොවෙයි කියන එක. බොහෝ අවස්ථාවල, විචාරකයන් විශ්ලේෂණාත්මකව විශිෂ්ඨ කිසිවක් මතු කර ගැනීමට අපොහොසත් වූ නිර්මාණ සැබවින්ම පාඨකයාගේ ස්වභාවික සහකම්නය හඳුනා ගත් කෘති ගණයට අයත් වෙනවා”  මුරකමි පවසයි.

මුරකමි The meaning of shadows  ලෙස  නම් කරන ලද සිය කතාව තුළ මතු කරන ලද ප්‍රාකාර සහ පිටස්තරයන් පිළිබඳ වැඩි විස්තර දැක්වුයේ නැති නමුත් ජපාන මාධ්‍යවල අනුමානයට අනුව මුරකමි ඉන් අදහස් කළේ “යු‍රෝපයේ සහ ලෝකයේ සෙසු තැන්හිදී දිනෙන් දින වඩාත් නරක තත්වයට හැරෙමින් පවතින, සංක්‍රමණිකයන් සහ සරණාගතයන්ට  එදිරිව නැගෙන විරෝධයයි”.

Murakami edited

පලස්තීන සම්මානය

2009 වසරේ පලස්තීන හිතවාදී කණ්ඩායම් විසින් පිරිනැමෙන, විරුද්වාදීන් අභිමුඛව සමාජය තුළ පවත්වා  ගන්නා පුද්ගල නිදහස උදෙසා  වු සම්මානය ලබා ගනිමින් මුරකමි මෙසේ පවසා  සිටියේය. “ විසල් ඝනැති ප්‍රාකාරයක හැපී බිත්තරයක් බිඳු‍නේ නම්, එහි වරද ප්‍රකාරයේ හෝ බිත්තරයේ වුව, මා පෙනී සිටින්නේ බිත්තරය වෙනුවෙනි. ඇයි? අප එකිනෙකා තුළත් බිත්තරයක් තියෙනවා, බිඳෙන සුළු බිත්තරයකින් වටවුණු අනන්‍ය වු ආධ්‍යාත්මයක්. අපි හැම දෙනාමට  උස් ප්‍රාකාර අභිමුඛ වෙනවා. එම ප්‍රාකාර කියන්නෙ අපි අකමැති අපිට නොගැළපෙනවා යයි අපිට හැඟෙන දේවල් අපට කරන්න බල කෙරෙන සමාජ ක්‍රමය.

“අපිට ප්‍රාකාරයක් ඉදිරියේ කිසිම බලාපොරොත්තුවක් ඉතිරී වී නැහැ. ඒ ඒතරමට ම  උසයි, අඳුරුයි, හුඟක් සීතලයි”  ඔහු ජෙරුසලමේදී පැවසීය. “ අපි ඒ ප්‍රාකාරයට විරුද්ධව සටන් කිරීමට නම්, අපි එකිනෙකාගේ ආධ්‍යාත්මයන් උණුහුමට සහ ශක්තිමත් ලෙස එකට එක් කළ යුතුයි. සමාජ ක්‍රමයට අපි නිර්මාණය කිරීමට හෝ අපව පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි. අප විසින් ක්‍රමය නිර්මාණය කළ යුතුයි.”

සුභාෂිනී චතුරිකා 

Related posts

Comments are closed.

Top