ඉන්දීය ධීවරයන්ට කරන හිරිහැර නවතන්න ශ්‍රී ලංකාවට ‘දැඩි පණිවිඩයක් යවන්න ” – තමිල්නාඩු මහා ඇමති මෝඩි ට කියයි.

ශ්‍රී ලංකා රජය විසින් තමිල්නාඩු ධීවරයන් වෙත සිදුකරනු ලබන හිරිහැර නවතා දැමීම සඳහා ‘දැඩි ස්ථිර පණිවුඩයක්’ ශ්‍රී ලංකා රජය වෙත යවන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ඕ පන්නිර්සෙල්වම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ගෙන් ඉල්ලා සිටියි.

එසේම කච්චතිව් දුපත පිළිබඳව ස්ථිර විසඳුමක් සපයා ගැනීමෙන් ඉන්දියාවේ ස්වෛරීභාවය යළි තහවුරු කළ හැකි බවද ඔහු පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා ධීවරයින් හතක් හා ඔවුන්ගේ යාන්ත්‍රික ධීවර බෝට්ටු දෙකක් අත්අඩංගුවට ගැනීම උපුටා දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යවමින් මේ බව සඳහන් කර තිබේ.

ධිවර ගැටලුව විසඳීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින මොහොතක මෙවැනි අත්අඩංගුවට ගැනීම් අසාධාරණ බව පෙන්වාදෙන තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා, කච්චතිව් දුපත පිලිබඳ අයිතිය යලි ඉන්දියාව ලබාගැනීමෙන් මෙම ගැටලුවට ස්ථිර විසදුමක් ලබාගනිමින් ඉන්දීය ධීවරයන්ට නිදහසේ තම මාළු අස්වැන්න නෙලා ගතහැකිවන බව තමිල්නාඩු ප්‍රාන්ත රජයේ ස්ථාවරය බවට අවධාරණය කර තිබේ.

පසුගියදා අත්අඩංගුවට ගත් බෝට්ටු ඇතුළු දැනට ශ්‍රී ලංකා රජයේ අත්අඩංගුවේ පසුවන බෝට්ටු 109 ක සහ ධීවරයන් 22 ක් නිදහස් කිරීමට ඉන්දීය විදේශ අමාත්‍යංශයට මැදිහත්වෙන ලෙස නියෝග කරන ලෙස ද තමිල්නාඩු මහා ඇමතිවරයා සිය ලිපියෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි. 

Related posts

Comments are closed.

Top