නෙලුම් පොකුණේ නත්තල් බැති ගී ප්‍රසංගය ‘කැරොල්’ වෙයි | VIDEO

මහත් උත්සවශ්‍රීයෙන් අගනුවර පවත්වන ලද  භක්ති ගීත  සංදර්ශනයකදී බෙදා හරින ලද ගීතිකා අඩංගු පුස්තිකාවට, සමස්ත ගීතිකාවලිය හා නොගැළපෙන, වැඩිහිටියන්ට පමණක් සුදුසු ඉංග්‍රීසි ගීයක පදමාලාව ඇතුලත් වී තිබීම කතෝලික සභාවත් බැතිමතුනුත් විස්මයට පත් කොට තිබේ.

 

කොළඹ රදගුරු මණ්ඩලය සහ ජුසේ වාස් පදනම එක්ව කොළඹ නෙලුම් පොකුණේ පවත්වන ලද බැති ගී වැඩ සටහනට ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන සහභාගි වන පිරිස් වෙත අලෙවි කර  තිබූ ගීතිකා මාලාවේ ‘නමෝ මරියාවෙනි’ (Hail Mary) නම් දහස් වසරක් පැරණි යාච්ඤාව වෙනුවට ඉංග්‍රීසියෙන් මුද්‍රණය කර තිබුනේ ඇෆ්‍රො-ඇමරිකානු රැප් ගායකයකු, කවියකු සහ නළුවකු වන ටූපැක් ශකූර් ගේ එනමින්ම යුතු රැප් ගීයයි.

 

යාච්ඤාවෙන් මෙන්ම රැප් ගීයෙන්ද යේසු මාතා කන්‍යා මරියාවගෙන් ඉල්ලා සිටින්නේ පව්කාරයන් වෙනුවෙන් මැදිහත් වන ලෙසයි.

නිර්මාණ දෙකේ සමානතාව එපමණකින් හමාරවෙයි.

 

ක්‍රිස්තියානි – කතෝලික ධර්ම ග්‍රන්ථය වන ශුද්ධ වූ බයිබලයේ සඳහන් වන පරිදි, දාවිත් රජ පෙළපතට අයත් ජෝසප් නම් වඩු කම්කරුවා සමඟ විවාහ ගිවිසගෙන සිටි කන්‍යා මරියාවන්ට ස්වර්ගයේ දේව පණිවිඩකරුවා වූ ගාබ්‍රියල් නම් දේවදූතයා රැගෙන ආ ජේසු පිළිසිදගැනීමේ පණිවිඩය වූ “නමෝ මරියනි, ප්‍රිය ප්‍රසාද පුර්ණවන්තියනි,” ආදී වශයෙන් එන ස්තෝත්‍රය පාරම්පරික ගායනයට පාදක වෙයි.

 

ටූපැක්ගේ ගීතය වෙඩි තැබීම්, මත් ද්‍රව්‍ය හා කාන්තා ලිංගේන්ද්‍රිය පිළිබඳව ගයා ඇති අතර “තී මා හා එන්නීද මරු දකින්නීදැ,’’ යි කියමින්  එහි එන ‘නමෝ මරියාවන්ට’ අභියෝග කරයි.

 

1996 දී අබිරහස් වෙඩි තැබීමකින් 25 වැනි වියේදී මියගිය ටූපැක් අවසානයට පටිගත කළ ඒ ගීතය ප්‍රචාරයට පත් කරන ලද්දේ ඔහුගේ මරණයෙන් පසුය.

 

රුපියල් 500 සිට 2000 දක්වා වන ප්‍රවේශ පත්‍ර අලෙවි කොට පවත්වන ලද “2016 ලෝක ප්‍රීතිය” නම් නෙලුම් පොකුණේ භක්ති ගීත ප්‍රසංගයේ අරමුණ සේ දක්වා තිබුනේ දරිද්‍රතාව දුරු කිරීම සඳහා මුදල් එකතු කිරීමයි.

නිර්ව්‍යාජ මුද්‍රණ දෝෂයක්

ටූපැක් ගීතය මුද්‍රණය ‘අත්වැරැද්දක්’ බව පිළිගත් කතෝලික සභාව එය “නිර්ව්‍යාජ මුද්‍රණ දෝෂයක්” බව කියා තිබුනි.

“මුද්‍රණය කරන ලද නමෝ මරියනි ගීතය ගායනා නොකෙරුනු අතර මුද්‍රිත පිටපත් මිලදී ගත් අයට මුදල් ආපසු දෙන ලදී,” යි කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ එඩ්මන්ඩ් තිලකරත්න පියතුමා මාධ්‍යවේදීන්ට පවසා තිබේ.

ප්‍රසංගයේදී නමෝ මරියනි සිංහලෙන් ගායනා කෙරුනු අයුරු මෙහි ඇති වීඩියෝවෙන් අසා බලා ගන්න. 

Related posts

Comments are closed.

Top