රජයේ පැකිලීම හමුවේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ කිසිදු ජයක් නොලද අවුරුද්දක්

ගතවුනු අවුරුද්ද  ලංකාවට මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ දී කිසියම් ජයග‍්‍රහණයක් වාර්තා කළ හැකි වර්ෂයක් නොවේ. ඇත්තෙන්ම එවැනි ජයක් අත්පත්කර ගැනීම සඳහා කිසිදු ප‍්‍රයත්නයක් වත් රජය විසින් දරා නොමැති අතර, එවැනි ජයග‍්‍රහණයක් කරා යොමුකරවා ගැනීමේ කිසිදු උත්සාහයක් රටේ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්‍ෂය විසින් ද නොදරන ලදි.

ලංකාවේ ඉතා සුවිශේෂ අභාග්‍ය සම්පන්න තත්වයක් නම් පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂවාදී  විරුද්ධ පක්‍ෂය නොකඩවාම මානව හිමිකම් ගැටළු විසඳා ගැනීමේ පැත්තට රජය යොමුවීම අධෛර්යමත් කිරීමේ දැඩි ප‍්‍රයත්නයක යෙදී සිටීමය. රජය විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් මුහුණ දීමට ඇති දැඩි විවේචනයන් ඉදිරියේ යම් පියවර ගැනීම පිළිබඳව කථාකරන සෑම අවස්ථාවක දීම එය “රණවිරුවන්ට විරුද්ධව කරන මහා පාවාදීමක්” සේ හඳුන්වමින් රටපුරා එවැනි ප‍්‍රයත්නයන්ට විරුද්ධව මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් දේශපාලන සංවිධානය  දැඩි ප‍්‍රචාරක ව්‍යාපාරයක යෙදේ. මෙම ප‍්‍රචාරණය ඉදිරියේ බියපත්වන රජය මානව හිමිකම් පැහැර හැරීම් පිළිබඳව සාධණීය පියවරක් ගැනීමට චකිතයක් පෙන්නුම් කරයි. නීතියක් පැනවීම වැනි ඉතා සරල කරුණු වලදී වූවත් රජය පැකිළෙන ආකාරය බලයෙන් අතුරුදහන් කිරීම පිළිබඳව නීති කෙටුම්පතක් ගෙනයෑමට පවා ඉදිරිපත් නොවීම මගින් පෙන්නුම් කරයි. බලයෙන් මිනිසුන් අතුරුදහන් කිරීම වනාහි නීතිය ඉදිරියේ පවතින අතිශයින් බරපතල වූ අපරාධයකි. එහෙත් ලංකාවේ නීති පොතේ මෙම අපරාධය අඩංගු නැත. මේ නිසා අවශ්‍ය අවස්ථා වල දී බලයෙන් මිනිසුන් අතුරුදහන් කිරීමේ ඉඩකඩ රටේ පවතී. බලයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් සිදුවී ඇති අපරාධවල ප‍්‍රමාණය අනුව ලෝකයේ දෙවැනි තැන දිනාගෙන ඇති ලංකාව මෙම අපකීර්තියෙන් මිදීමට වත් උත්සාහයක් නොදැරීම තුළ පෙන්නුම් කරන්නේ මානව හිමිකම් වර්ධනය කෙරෙහි කිසිදු සැබෑ උනන්දුවක් නොපවතින බව පමණය.

 

පොලිස් වධහිංසාව

අපරාධ පරීක්‍ෂණ වලදී පොලිස් වධහිංසාව රටපුරා ව්‍යාප්තව පවතින බව වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව මගින් ලංකාව සම්බන්ධයෙන් පවත්වන ලද පස්වැනි සැසිවාරයෙන් පසු නිකුත්කර ඇති නිල නිවේදනයේ සඳහන් කොට ඇත. එහෙත් මේ සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රායෝගික පියවරක් ගැනීමට අඩුම වශයෙන් වදහිංසා විරෝධී පනත එනම් 1994 අංක 22 දරණ පනත ක‍්‍රියාත්මක කිරීමට වත් රජයේ උනන්දුවක් නැත. මෙම පනත ලංකාවේ ක‍්‍රියාත්මක නොකරන නීතියකි. නීතිපොතේ නීතිය පවත්වාගෙන යෑම මගින් ලෝකය ඉදිරියේ යම් ප‍්‍රචාරයක් කිරීමට උනන්දු වෙනවා හැර සැබැවින්ම ජනතාවට වදහිංසාවෙන් මිදී ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කිරීමේ ඉදිරි දර්ශනයක් හෝ ක‍්‍රියාමාර්ගයක් ඇත්තේම නැත.

 

සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීම, අතුරුදහන් වූවන් සොයාබැලීම පිළිබඳ කාර්යාලය ආදිය සම්බන්ධයෙන් නීති සම්මත කරගෙන ඇතත් ප‍්‍රායෝගික වශයෙන් මේවායේ ප‍්‍රතිපල ජනගත කිරීම සඳහා කිසිම ප‍්‍රයත්නයක් දරන බවක් පෙනෙන්නට නැත.

 

මෙයට හේතුව වන්නේ ප‍්‍රායෝගික වශයෙන් නීතිය ක‍්‍රියාත්මක කරවා ගැනීමේ සංස්ථාවන් වන පොලිස් අපරාධ පරීක්‍ෂණ අංශය, රජයේ නඩු පවරන්නාගේ කාර්යය කෙරෙන නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණය තුළ ඇති අතිමහත් අර්බුදයයි. අපරාධ නඩු සම්බන්ධයෙන් විසඳුමක් ලබාදීමට අවුරුදු 10 කට වැඩි කාලයක් ගතවෙයි. ඒ කාලය තුළ එකම නඩුවේ කොටස් විනිශ්චකරුවන් 6 දෙනකු විසින් පමණ විසින් අසනු ලබයි. අවසානය වන විට නඩුවේ අංග සම්පූර්ණ ස්වාභාවික මතකයක් නොපවතින තත්ත්වයක් ඇතිවෙයි. කෙසේ වූවත් දීර්ඝ කාලීන නඩු නිසාම බොහෝ දෙනෙක් යුක්තිය සොයා යෑමට උනන්දු නොවෙති. උනන්දු වන අය බොහෝ හිරිහැර වලට මුහුණපාති. මේ නිසා ඇත්තෙන්ම සිදුවන අපරාධවල ප‍්‍රමාණය හා යුක්තිය සොයා යන්නන් අතර මහා පරිමාණ වෙනසක් පවතී. නීතියෙන් බැහැරව තමන්ගේ ප‍්‍රශ්න විසඳාගැනීමට දරන ප‍්‍රයත්නය තුළ දූෂණය ඉහළ යෑමටත් වෙනත් අපරාධ වැඩි වීමටත් තිබෙන ඉඩකඩ පළල් වී ඇත. සමස්ත නීතිය ක‍්‍රියාත්මක කිරීමේ ව්‍යුහය නවීන කරණය කිරීම තුළින් මිස වෙනත් ආකාරයකින් මේ ප‍්‍රශ්ණය විසැඳිය නොහැකිය. එහෙත් එවැනි නවීකරණයක් සඳහා ඉදිරි දර්ශනයක් වත් කල්පනා ධාරාවක් වත් පෙනෙන්නට නැත.

එකම සාධනීය ප‍්‍රයත්නය

මුලු අවුරුද්ද පුරා සිදුවූ එකම සාධනීය ප‍්‍රයත්නය තොරතුරු ලබාගැනීමේ අයිතිය පිළිබඳ පනත සම්මත වීම හා ඒ පිළිබඳව ක‍්‍රියාත්මක කිරීම සඳහා කොමිසමක් පත්කර ගැනීමය. මෙය ක‍්‍රියාත්මක වීම 2017 දී සිදුවනු ඇති අතර එය ක‍්‍රියාත්මක කරවාගැනිමේ වගකීමට සිවිල් සංවිධාන නිසි ලෙස මුහුණ දුනහොත් එයින් රටේ යම් වෙනස්කම් ඇතිකර ගැනීමට ඉඩක් සැළසෙනු ඇත. තවත් සඳහන් කල යුතු සාධනීය අංශයක් නම් ලංකාවේ මානව හිමිකම් කොමිසම යම් සාධනීය ආකාරයකින් මානව හිමිකම් කඩවීම පිළිබඳව ක‍්‍රියාත්මක වීමට පටන් ගැනීමය. කුඩා ප‍්‍රමාණයකින් වූවත් ඇතිවී තිබෙන මෙම සාධනීය අංශ වැඩි දියුණු වුවහොත් 2017 වන වර්ෂය තුළ 2016 දී නොදුටු දියුණුවක් ඇතිවීමට ඉඩ ඇත.

 

ඇත්තෙන්ම ලංකාවේ මානව හිමිකම් අනාගතය රැඳී පවතින්නේ විශාල මහජන ව්‍යාපාරයක් ලෙස මානව හිමිකම් ව්‍යාපාරය ඉස්මතු වූවහොත් පමණය. මේ සඳහා යම් සැළකිය යුතු ප‍්‍රයත්නයන් ආරම්භ වීම පසුගිය මාස වලදී දැක ගත හැකි විය. දේශපාලනයට බද්ධ නොවී තමන්ගේ අයිතිවාසිකම් රැකගැනීමට තමන්ම කැපවුණු ජනතා ව්‍යාපාරයක් ඇතිකර ගත හැකි නම් එය ලංකාව තුළ ඉතා තීරණාත්මක වෙනස් කම් ඇතිකළ හැකි සාධකයක් බවට පත්වනු ඇත.

Related posts

Comments are closed.

Top