සංහිඳියා කමිටුවේ ප්‍රධාන යෝජනාවක් රජය පසුදාම ඉවත ලයි  | VIDEO

යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා මහජන අදහස් විමසීමට රජය විසින් පත් කරන ලද සංහිඳියාව සඳහා වන ඉහල පෙලේ කමිටුවක් අධිකරණ ක්‍රියාදාමය පිළිබඳව දුන් ප්‍රධාන නිර්දේශයක් එය ලබාගත් දාට පසු දිනම රජය විසින් එකහෙලා ප්‍රතික්ෂේප කර තිබේ.

යුද අපරාධ ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන චෝදනා විභාග කෙරෙන අධිකරණය සඳහා විදේශීය විනිශ්චයකාරවරුන් ඇතුලත් කරගත යුතු බවට සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය විසින් කරන ලද නිර්දේශය රජයේ ප්‍රකාශකයා විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා 4 බදාදා කැඳවන ලද මාධ්‍යවේදීන් හමුවේ ය.

“එක එක සංවිධාන වලට පුළුවන් ඕනේ එකක් යෝජනා කරන්න. රජයේ ස්ථාවරය විදේශ නියෝජිතයෝ නැහැ,” යි අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා දැඩිසේ කියා සිටියේය.

“යුද අපරාධ චෝදනා ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පරීක්ෂා කෙරෙන අධිකරණ යාන්ත්‍රණයට එක් විදේශීය විනිසුරුවකු හෝ සම්බන්ධ විය යුතු බව,” සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ මූලික නිර්දේශයකි.

සංක්‍රාන්ති යුක්තිය හා සංහිඳියාව සඳහා යෝජිත යාන්ත්‍රණයන් පිලිබඳ මහජන මත විමසා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පසුගිය ජනවාරියේ අග භාගයේ අගමැතිවරයා විසින් කාර්ය සාධක බලකාය පත් කරන ලද්දේ 2015 ඔක්තෝබරයේ ශ්‍රී ලංකාවද හවුල්වී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සම්මත කරගත් යෝජනාව පරිදිය.

විශේෂ නීතිඥවරයකුගෙන් සමන්විත අධිකරණ යාන්ත්‍රණයක්, සත්‍යය, යුක්තිය, සංහිඳියාව සහ නැවත ඇති වීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග සඳහා කොමිසමක්, පීඩිතයන්ට සහන සැලසීම සඳහා කාර්යාලයක් සහ අතුරුදහන් වූවන් වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවීම රජයේ සැලසුම ලෙස දක්වා තිබුනි.

පීඩිත කේන්ද්‍රීය ප්‍රතිපත්තියක්

යුද්ධයේ දී සහ ඉන් පසුව සිදුවූ බරපතල අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් පිහිටුවන ඕනෑම යාන්ත්‍රණයක පූර්ණ හෝ බහුතර නියෝජනය ජාත්‍යන්තර මට්ටමින් තෝරාගත යුතු බවට උතුරු නැගෙනහිර යුද පීඩිත ජනකාය අතරින් වැඩි පිරිසක් ඉල්ලා සිටි බව සංහිඳියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ ලේකම් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මීට ඉහතදී ගගන හා කියා තිබුනි.

ආචාර්ය මනෝරි මුත්තෙට්ටුවේගම ගේ නායකත්වයෙන් යුත් සිවිල් සමාජ ක්‍රියාධර බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත් කාර්ය සාධක බලකාය ලබාදුන් අවසන් නිර්දේශ වල අවධාරණය කර තිබුනේ ශ්‍රී ලංකාවේ දේශීය යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය පීඩිත පාර්ශවය සෑහීමකට පත් කරන්නක් නොවන බවයි.

“වර්තමාන අධිකරණ පද්ධතිය ප්‍රායෝගික වශයෙන් වින්දිතයන්ගේ හිමිකම් සහ විශේෂිත අවශ්‍යතා සැලකිල්ලට ගැනීමට අසමත් බව හඳුනාගත් සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය, ලොව පුරා පිළිගනු ලබන චුදිතයාගේ හිමිකම් තහවුරු කරන අතරම, අධිකරණ පද්ධතියේ සෑම පියවරක් පාසාම පරිපාටිමය සහ ව්‍යුහමය පාර්ශවයන් ආවරණය කරනා, එමෙන්ම වින්දිතයා කේන්ද්‍ර කරගත් ජාතික ප්‍රතිපත්තියක් සංවර්ධනය කළ යුතු යයි නිර්දේශ කරයි,” යනුවෙන් නිර්දේශ වල සඳහන් වෙයි.

‘ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්’ නොවේ

කෙසේවෙතත්, බලකායේ සියලු නිර්දේශ පිළිගැනීමට රජය බැඳී නැති බව කියමින් යුක්තිය පසිඳලීම සඳහා ශ්‍රී ලංකාවේ අධිකරණය සතු හැකියාව අගය කළ සේනාරත්න අමාත්‍යවරයා ශ්‍රී ලංකාව තුලින්ම රජය විසින් තෝරා පත් කරගන්නා ලද බලකායේ සාමාජිකයන්ගේ දැනුම සමච්චලයට ලක් කළේ ඔවුන් “මහ ලොකු විඥානයක්” ඇති අය නොවන බව පවසමිනි.

“ඒ අය ලෝකයේ පහල වෙලා තියෙන ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් නෙවෙයිනේ. ඔය අපේ අයනේ පත් කරලා තියෙන්නේ,” යි අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පැවසීය.

විදේශීය තාක්ෂණික හා නීතිමය උපදෙස් ලබා ගැනීම සම්බන්ධයෙන් රජයේ විරෝධයක් නැතත්, කවර නිර්දේශය සම්බන්ධයෙන් වුව අවසන් තීරණය ගැනීම සිදු කරනු ඇත්තේ රජය විසින් බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ අවසන් වාර්තාව රජය වෙනුවෙන් භාරගත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සභාව අමතා කියා තිබුනේ සියලුම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජයට හැකියාවක් නැති බවයි.

ජිනීවා යෝජනාව හා ට්‍රම්ප්

යුද්ධයේ සිදු කරන ලද ජාත්‍යන්තර පරිමානයේ අපරාධ සම්බන්ධයෙන් විභාග කිරීමට ජාත්‍යන්තර විනිශ්චයකාරවරුන් සහභාගි කරවා ගැනීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇති අතර ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් ඇති වගකීමෙන් ආණ්ඩුව නිදහස් කර ගැනීම සඳහා නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහාය ලබා ගැනීමේ අපේක්ෂාවද ජනාධිපතිවරයා විසින් පල කොට තිබේ.

යුද අපරාධ සම්බන්ධ යුක්තිය පසිඳලීම සඳහා රටේ ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලා සිටින්නේ ඉකුත් වසරේ  ජිනීවා නුවරදී එකඟවූ පරිදි ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම,’ සඳහා වන යෝජනාව අකුරට ක්‍රියාත්මක කරන ලෙසයි. 

Related posts

Comments are closed.

Top