වැලිකඩ සමූහ ඝාතනය ගැන ආණ්ඩුවේ නිහැඬියාවට දොස්| VIDEO

පස් වසරකට ඉහත දී වැලිකඩ බන්ධනාගාරයේ විසි හත් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අධිකරණ අමාත්‍යාංශය විසින් පැවැත්වූ පරීක්ෂණට අදාල වාර්තාවේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන ලෙස සිවිල් සංවිධාන රජයට බල කර සිටී.

මේ වන විට අධිකරණ අමාත්‍යවරයා වෙත භාරදී තිබෙන වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරනු ඇතිදැයි බලා සිටියත් ඔහු ඒ වාර්තාව සම්බන්ධයෙන් “වචනයක්වත් කතා නොකරන” බවයි සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය පවසන්නේ.

එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අධිකරණ අමාත්‍යවරයා මැදිහත් නොවන බව මහාචාර්ය සරත් විජේසුරිය පවසා සිටියේ වැලිකඩ ඝාතනයට යුක්තිය ඉල්ලා සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය විසින් ජනාධිපති පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය උත්සවාකාරයෙන් සැමරෙද්දී වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

පාලනයේ වෙනසක් නෑ

ආන්ඩුව විසින් පත් කළ කොමිසන් සභාවක් ලබා දුන් වාර්තාවේ නිර්දේශ ආණ්ඩුවම ක්‍රියාත්මක නොකරන්නේ නම් මහින්ද රාජපක්ෂ පාලනයෙහි සහ වත්මන් පාලනයෙහි වෙනසක් නොමැති බවයි මහාචාර්ය වරයා එහිදී අවධාරණය කළේ.

වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන වශයෙන් බලවත් අප්‍රසාදය දැක්වු ඔහු අධිකරණ අමාත්‍යවරයාට ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අවධාරණය කළේ වැලිකඩ බන්ධනාගාරයේ අමානුෂික සාතනය පිළිබදව වාර්තාවේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන ලෙසයි.
එම නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ කිසියම් බලවතෙක් ආරක්ෂා කිරීමටනම් එය ඉතාමත්ම “අවලස්සන කටයුත්තක්” ලෙසයි ඔහු විසින් හදුන්වනු ලැබුවේ.

ආණ්ඩුවේ කම්මැලිකම

මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව පෙරලා යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒම සම්බන්ධයෙන් සිදු කළ මැදිහත්වීම ගැන කණගාටු නොවූවත් බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු වලදී යහපාලන ආන්ඩුව දක්වන කම්මැලි ස්වභාවය සහ සෙමින් ගමන් කිරීම ඉවසීමට බැරි බවයි මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිෙටා්  ප්‍රනාන්දු එහිදී පවසා සිටියේ.

වැලිකඩ ඝාතනය පිළිබදව සියලු තොරතුරු හෙලිවී තිබියදීත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ආණ්ඩුවට හයියක් නොමැතිවීම සම්බන්ධයෙන් ඔහු සිය කනගාටුව පලකළේය.

අතුරුදහන්වීම් පිළිබද පවා යම් යම් ඉදිරි පියවර තැබුවත් ඒවා අවසානය ගෙන ගොස් විපතට පත්වුවවන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට තරම් ආණ්ඩුවට දේශපාලන උවමනාවක් ඇතැයි පිළිබිඹු නොවන බවටද ඔහු චෝදනා කළේය.

වැලිකඩ බන්ධනාගාරයේ සිටි අහිංසක සිරකරුවන් මරා දැමු ආකාරය ඉතාම ම්ලේච්ඡ සහගත බව පැවසු ප්‍රවීන රංගන ශිල්පී ලක්ෂ්මන් මෙන්ඩිස් එය හිට්ලර්ගේ ඝාතන සංස්කෘතිය මතක් කර දෙන සිදුවීමක් ලෙස හැඳින්වීය.

ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ වැලිකඩ ඝාතනයේ මිනී මරුවන් හෙලි කර ඔවුන්ට දඩුවම් ලබා දෙන ලෙසයි.

එම මාධ්‍ය හමුවේදී සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුවන් වන සමන් රත්නප්‍රිය, ගාමිනී වියන්ගොඩ, කේ.ඩබ් ජනරංජන, අසාද් සාලි සහ චමීර පෙරේරාද අදහස් දැක්වූහ.

පළ නොකළ වාර්තාවක්

වැලිකඩ 2012 ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වාර්තාව විශ්‍රාම ලත් විනිසුරු නිමල් නම්බුවසම් අගමැති රනිල් වික්‍රමසිංහ හමුවේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත භාර දෙන ලද්දේ 2015 ජුනියේය.

මේ තාක් ඒ වාර්තාව රජය විසින් ප්‍රසිද්ධියට පත් කර නැත.

වැලිකඩ සිරගෙදරට සන්නද්ධව කඩා වැදුණු රජයේ ආරක්ෂක හමුදා සහ සිරකරුවන් අතර 2012 නොවැම්බරයේ ගැටුමකින් මියගිය අයට අමතරව හතළිහකට නොඅඩු පිරිසකට තුවාල සිදුවිය.

වැලිකඩ බන්ධනාගාරයේදී විසි හත් දෙනකු ඝාතනය කරන අවස්ථාවේ එහි සිටි ප්‍රධාන සාක්ෂි කරුවකුට ද පසුගිය වසරේ මරණිය තර්ජනයක් ල්ලවී තිබුනි.

Related posts

Comments are closed.

Top