දෙමළ අයිතිය වෙනුවෙන් මියගිය “කාටවත් යුක්තිය ඉටුවී නෑ” | VIDEO

 

දෙමළ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් අවිහිංසාවාදී සටනේ ආරම්භයේ  සිට සන්නද්ධ සටන් දක්වා කාලය තුල ඝාතනයට ලක්වු කිසිවකුටත් මේ තාක් යුක්තිය ඉටුවී නොමැති බව උතුරු පලාත්සභා දෙමළ ජාතික සන්ධාන නියෝජිතවරියක් පවසයි.

 

උතුරු පළාත් සභා මන්ත්‍රී ආනන්දි ශෂිධරන් ඒ බව පවසා ඇත්තේ හතලිස් තුන් වසරකට ඉහතදී යාපනයේ පැවැති  සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනයේ සමාප්ති දිනයේ පොලිස් ප්‍රහාරයකින් ජීවිත අහිමිවූ නම දෙනකු සිහිකරමින් යාපනයේ පැවැති අනුස්මරණ උත්සවයක් අමතමිනි.

 

යාපනය වීරසිංහ ශාලාව අබියස ඉදිකර තිබෙන සමාධිය අසලදී එම අනුස්මරණය සිදුකර ඇත්තේ 10 අඟහරුවාදා දිනයි.

 

මරවන් පුලවි සචිදානන්දන් විසින් රචිත “තමිල්ආරච්චි පඩුකොලෙයිගල්” (දෙමළ පර්යේෂණ සම්මේලන සමූහ ඝාතනය) නැමැති කෘතියද දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් විසින් උතුරු පළාත්  වැඩ බලන මහ ඇමැති  පී. අයින්ගරනේෂන් වෙත පිරිනමා තිබේ.

 

මෙම අවස්ථාව සදහා උතුරු පලාත් සභා නියෝජිතයන් රැසක් එක්ව සිටි බව ගගන යාපනය වාර්තාකරු පවසයි.

 

සිව්වැනි ජගත් දෙමළ සමුළුව 

 

දෙස් විදෙස් උගතුන්ගේ දායකත්වයෙන් 1974 ජනවාරි 3 දායින් ඇරැඹී පුරා සතියක් තිස්සේ පැවති සිව්වැනි දෙමළ ජාත්‍යන්තර පර්යේෂණ සම්මේලනයේ අවසන් දිනයේ දී නොදන්වාම සම්මේලන භූමියට ඇතුල්වූ යාපනයේ සහකාර පොලිස් අධිකාරි චන්ද්‍රසේකර ගේ නායකත්වයෙන් යුත් පොලිස් භට කණ්ඩායමක් විසින් වෙඩි තබන ලද්දේ කීර්තිමත් තමිල්නාඩු විද්වතකු වූ මහාචාර්ය නයිනා මොහමඩ් සිය දෙසුම පවත්වමින් සිටියදීය.

 

සමුළුව කොළඹ පවත්වන ලෙස බල කරමින් සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව කළ බාධා නොතකා යාපනයේම එය උත්සවාකාරයෙන් පැවැත්වීමට සංවිධායකයෝ සමත් වී සිටියහ.

 

ජීප්රථ සහ වෑන්රථ වලින් පැමිණි පොලිස් භට පිරිස් යාපනයේ වීරසිංහම් ශාලාව ඉදිරිපිට ඉදිකර තිබු වේදිකාව අබියස රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනකායක් වෙත බැටන් පොලුවලින්, රයිෆල් කඳන් වලින් පහර දෙමින් වෙඩි තැබූ බව සමුළුවට එල්ලවූ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තවුන් පසුව පවසා තිබුනි.

 

පොලිසිය වෙඩි තැබීමෙන් කඩා වැටුනු විදුලි රැහැන් ද ප්‍රහාරයෙන් බේරීමට පලා යන පිරිස් මත ඇද වැටී තිබේ.

 

පොලිස් ප්‍රහාරයෙන් නම දෙනකු මරා දැමුනු අතර නගරය අවට දේපල විනාශ වී  තවත් 50 කට වැඩි ගණනක් බරපතල තුවාල ලැබුහ.

 

පොලිසිය වැරදියි: කොමිසම

 

සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඕ එල් ඩි ක්‍රෙස්ටර් ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද ත්‍රිපුද්ගල කොමිසම තීන්දු කර තිබුනේ පොලිසියේ ප්‍රහාරය කිසිසේත් යුක්ති සහගත කළ නොහැකි බවයි.

 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වී මානික්කවාසගර් සහ යාපනයේ හිටපු අගරදගුරු සබාපති කුලේන්ද්‍රන් සාමාජිකත්වය දැරූ කොමිසම 1974 පෙබරවාරි 18 දින ප්‍රකාශයට පත් කළ වාර්තාවේ මෙසේද දැක්වේ.

 

“නිරායුධ පුරවැසියන්ට මේ රාත්‍රියේ (1974 ජනවාරි 10) ප්‍රචණ්ඩ සහ අනවශ්‍ය ප්‍රහාරයක් දියත් කිරීම සම්බන්ධයෙන් පොලිසිය වරදකාරී වන බව අප විසින් එළැඹි නොවැලැක්විය හැකි නිගමනයයි. ඉතා දුෂ්කර අවස්ථා වලදී පවා කල්පනාකාරීව කටයතු කිරීමට බැඳී සිටින සිවිල් පොලිස් බලකායකින් අපේක්ෂා කෙරෙන නිවැරදි විනිශ්චයකට එළඹීමේ හැකියාව ඔවුන් සතුව නොතිබීම අපේ බලවත් කනස්සල්ලට හේතු වෙයි. ශාරීරික හානි සහ දේපල හානි සිදුවූයේද, ජීවිත හානි සිදුවූයේද, පොලිස් නිලධාරියකු විසින් ගන්නා ලද මුළුමනින්ම වැරදි සහගත සහ අමනෝඥ තීරණයකින් දියත්  වුනු සිද්ධි දාමයකට අහිංසකයන් බිලි වීමෙනි. අනාරක්ෂිත සහ අහිංසක පුරවැසියන් මත්තේ මුදාහරින ලද පොලිස් ප්‍රහාරය කිසිසේත් යුක්ති සහගත කළ නොහැක.”

 

 

 

Related posts

Comments are closed.

Top