රිමාන්ඩ් කළ වීරවංස රාවණා බලයට රජයේ වාහන දුන් බවට චෝදනා | VIDEO

රජයේ වාහන අයථා ලෙස යොදා ගනිමින් කෝටි ගණනක පාඩු සිදුකළ බවට නැගුනු චෝදනා යටතේ රිමාන්ඩ් ගත කරන ලද හිටපු ඇමැති විමල් වීරවංස රාවණා බලය සංවිධාන නායකත්වයට ද රථවාහන සැපයූ බවට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංස සති දෙකක කාලයක් සඳහා 10 අඟහරුවාදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ වියදමින් මෝටර් රථ කුලියට ගෙන ඉන්ධන සහ රියදුරන් යොදවා බාහිර කාර්යවල යෙදවීමෙන් රජයට රුපියල් කෝටි නමයකට වැඩි මුදලක පාඩුවක් සිදු කළ බවට නැගෙන චෝදනා යටතේය.

රාවණා බලයේ නායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ට 2011 මාර්තු සිට 2014 ඔක්තෝබර් කාලය තුල ලක්ෂ තිහකට ආසන්න මුදලක් වියදම් කොට අඩුම වශයෙන් වාහන තුනක් ලබා දී ඇති බව ද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති වරයා මහේස්ත්‍රාත් වෙත සැපයූ තොරතුරු වාර්තාවේ සඳහන් වෙයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක වීරවංශ වාහන ලබා දුන් බවට පොලිසිය විසින් නම් කොට ඇති හතලිස් දෙනකුගේ ලැයිස්තුවේ එම පක්ෂයේ සාමාජිකයන් දහ දෙනකු, ජනමාධ්‍යවේදීන් දෙදෙනකු සහ පවුලේ ඥාතීන් පස් දෙනකුද වෙයි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් කුලියට ලබාගත් වාහන හතළිහක් වැඩබිම් වල පාවිච්චියට නොගෙන වෙනත් කටයුතු සඳහා යෙදවීම සම්බන්ධයෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපති එමිල් ජොයකිම් විසින් දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන කටයුතු ආරම්භ කරන ලද බවයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ එම චෝදනා එල්ලවී තිබෙන ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමන්ත ප්‍රියන්ත ලොකුහැන්නදිගේ ජනවාරි 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් නියෝග කරන ලදී.

වාහන ලබාගත් බව පොලිසිය පවසන අයගේ ලැයිස්තුව පහතින් 

Related posts

Comments are closed.

Top