තවත් දේශද්‍රෝහීන් පිරිසක් වීරයන් කරන ලෙස ඉල්ලීමක්| VIDEO

බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කෙරුණු කැප්පෙටිපොළ මහ දිසාවේ ඇතුළු 19 දෙනකුගේ නම් එම ලේඛනයෙන් ඉවත් කළා සේම බ්‍රිතාන්‍ය ජාතිකයන් දේශද්‍රෝහීන් ලෙස නම් කර ඇති සෙසු වීරවරයන්ද එම ලේඛනයෙන් ඉවත් කරන ලෙස ඉල්ලන සංදේශයක් වීර මොණරවිල කැප්පෙටිපොළ ජාතික පදනමේ සභාපති වෝල්ටර් පරහිටියාවතැන්නේ විසින් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර තිබේ.

ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය දුන් කැප්පෙටිපොළ දිසාව ප්‍රමුඛ පිරිස සැමරීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් 10 අඟහරුවාදා පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති අවස්ථාවේදී එය ඉදිරිපත් කර ඇත.

 

 

පළමු නිදහස් අරගල ප්‍රත්‍යාවලෝකනය “උත්තමාභිවන්දනා” නමින් නම් කොට තිබූ එම උත්සවය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබූණි.

ජනාධිපතිතුමා විසින් දේශප්‍රේමින් බවට ඔසවා තබමින් පසුගියදා නිවේදනය කරන ලද වීරවරයන්ගේ නම් ඇතුළත් ඵලකයක් අනාගත පරම්පරාවෙහි දැනගැනීම පිණිස ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරයේ සහ නිදහස් චතුරශ්‍ර කෞතුකාගාරයේ තැන්පත් කිරීම සදහා එම ආයතන ප්‍රධානීන් වෙත පිරිනැමීම හා මහනුවර ශ්‍රී දළදා මාළිගා කෞතුකාගාරය වෙනුවෙන් දියවඩන නිළමේවරයා වෙත පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කර තිබේ.

අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, විජයදාස රාජපක්ෂ, රංජිත් මද්දුමබණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ද මහාචාර්ය ජේ.බී. දිසානායක, කේ.එන්.ඕ. ධර්මදාස යන විද්වතුන් ඇතුථ ආචාර්ය මහාචාර්යවරුන් ද, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය ඇතුථ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි. 

Related posts

Comments are closed.

Top