දෙමළ ප්‍රශ්න විසඳීම ආණ්ඩුව මගහරින බවට එක්සත් ජාතීන්ට පැමිණිල්ලක් | VIDEO

 

දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට විසදුම් ලබාදීම ආණ්ඩුව විසින් මග හරිමින් සිටින බව ත්‍රිකුණාමලය කතෝලික රදගුරුවරයා පවසයි.

ආණ්ඩුවේ එම ක්‍රියා කලාපය නිසා දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් ඉල්ලා එක්සත් ජාතීන් වෙත පැමිණිලි කිරීමට සිදුවී ඇති බව ඔහු පවසයි.

ක්‍රිස්ටියන් නොයෙල් ඉමානුවෙල් රදගුරු තුමා ඒ බව පවසා සිටියේ ඉල්ලීම් පහක් මුල්කරගනිමින් ත්‍රිකුණාමලයේ 11 බදාදා පැවැති විරෝධතාවයකදී බවයි ගගන ත්‍රිකුණාමලය වාර්තාකරු පවසන්නේ.

පෙඩරල් පාලනයක්

උතුරු නැගෙනහිර ඒකාබද්ධකර පෙඩරල් පාලනයක් ඉල්ලා සිටි විරෝධතාකරුවන්ගේ සෙසු ඉල්ලිම් වන්නේ මෙරටට එල්ල වී තිබෙන යුද අපරාධ චෝදනා දෙමුහුන් අධිකරණයක් හරහා විසඳා යුක්තිය ඉටු කරන ලෙසත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත්ය.

 

 

රජයේ ආරක්ෂක අංශ අතින් වද හිංසාවට හා ඝාතනයට ලක්වුවන්ගේ සිද්ධි සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සදහා විශේෂ නීති යාන්ත්‍රණයක අවශ්‍යතාවයද පෙන්වා දී ඇති ඔවුන් රජයට බල කර ඇත්තේ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලැබුවන් වෙනුවෙන් මෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට ද යුක්තිය ඉටු කරන ලෙසයි.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කිරීම උදෙසා විදේශීය විනිසුරුවන්ගෙන් සමන්විත දෙමුහුන් අධිකරණයක් සහිත විශේෂ නීති යාන්ත්‍රණයක් වෙනුවෙන් සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය විසින් කරන ලද නිර්දේශ රජයේ ඉහළම තැන්වලින් මේ වනවිට ප්‍රතික්ෂේප වී තිබේ.

ත්‍රිකුණාමලය වරාය වීදියේ පිහිටි නීති ආධාර මධ්‍යස්ථානය ඉදිරිපිට පැවැති එම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සමාජ ක්‍රියාකාරීන්ගේ සංගමය විසිනි.

උද්ඝෝෂකයන් විසින් සිය ඉල්ලීම් ඇතුලත් සංදේශයක් එක්සත් ජාතීන්ගේ නව මහ ලේකම්වරයා අත පත් කරන ලෙස ඉල්ලමින් ත්‍රිකුණාමලය රදගුරු ක්‍රිස්ටියන් නොයෙල් ඉමානුවෙල් පියතුමා වෙත බාරදුන් බව ද ගගන වාර්තාකරු වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

Comments are closed.

Top