රවිරාජ් ඝාතන තීන්දුවට එරෙහිව රජයෙන් ඇපෑලක්

 

අවුරුදු දහයකට ඉහතදී වෙඩිතබා මරාදමන ලද නඩරාජා රවිරාජ් මන්ත්‍රීවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් ලබා දුන් අධිකරණ තීන්දුව අහෝසි කර එම නඩුව නැවත විභාග කිරීමට මහාධිකරණයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

අදාළ නඩුව විභාග කළ විශේෂ ජූරි සභාව හමුවේදී මහාධිකරණ විනිසුරුවරයා විසින් නඩුව සම්බන්ධයෙන් නීතිමය කරුණු ප්‍රමාණවත් අයුරින් පැහැදිලි කිරීමක් සිදු නොකළ බවයි නීතිපතිවරයා අභියාචනාධිකරණ‍ය හමුවේ දැනුම් දී ඇත්තේ.

එමෙන්ම මධ්‍යම රාත්‍රිය ඉකුත් වන තුරුම අදාළ නඩුව පවත්වාගෙන යාමෙන් පැමිණිලි පාර්ශවයට අගතියක් සිදුවු බව ද නීතිපතිවරයා පෙන්වා දී තිබේ.

 

 

දස අවුරුද්දකට ඉහතදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ ඔහුගේ ශරීරාරක්ෂක ලක්ෂ්මන් ලොකුවැල්ල මහමග මරා දැමීමේ අපරාධයට නඩු පැවරුනු ප්‍රදීප් චමින්ද හෙවත් වජිර, ප්‍රසාද් චන්දන කුමාර හෙවත් නේවි සම්පත්, ගාමිණී සෙනෙවිරත්න, පලන සාමි සුරේෂ්, චරන් හෙවත් සිවකාන්තන් විවේකානන්දන් සහ ෆේබියන් රොයිස්ටන් තුසෝන් ඉකුත් වසර අගදී සර්ව සිංහල ජූරි සභාවක් විසින් නිදොස් කොට නිදහස් කර යවන ලදී.

බිරිඳ ගෙන් අභියාචනයක්

හිටපු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව ඔහුගේ බිරිඳ ශශිකලා රවිරාජ් විසින් 10 අඟහරුවාදා දිනයේ අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබුණි.

සර්ව සිංහල ජූරි සභාව විසින් ලබා දී තිබු තීන්දුව රවිරාජ් හිටපු මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී එම්ඒ සුමන්දිරන්, අමාත්‍ය මනෝ ගනේෂන්, අමාත්‍ය රාජිත සේනාරත්න, උතුරු පළාත් සභික එම්.කේ සිවාජිලිංගම් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් විසින්ද විවේචනය කර තිබුණි. 

Related posts

Comments are closed.

Top