“වතු සාමුහික ගිවිසුම අසාධාරණයි” තලවාකැලේ විරෝධතා

 

වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ අත්සන් තැබු සාමුහික ගිවිසුම් මගින් තමනට මහත් අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් නුවරඑළිය තලවාකැලේ වතු කම්කරුවන් පිරිසක් විසින් විරෝධතාවයක් පවත්වා තිබේ.

තලවාකැලේ ඩයගම මාර්ගයේ ආගුරෝවා හන්දියේදී වතුකම්කරුවන් පිරිසක් 11 බදාදා උදෑසන මෙම විරෝධතාවයේ නිරත වූ බවයි ගගන නුවර එළිය වාර්තාකරු පවසන්නේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 14 වැනි දින කොළඹදී වතු හාම්පුතුන් සහ වෘත්තිය සමිති විසින් අත්සන් තැබු ගිවිසුමට අනුව එතෙක් රුපියල් 620 ක්ව තිබු වතු කම්කරු දෛනික වැටුප රුපියල් 730 දක්වා වැඩි වුවත් ඒ වෙනුවෙන් තමනට කොන්දේසි රැසකට යටත් වීමට සිදුව ඇති බව ඔවුන් නගන චෝදනාවයි.

අසාධාරණ කොන්දේසි

එම ගිවිසුමට අනුව දිනකට එක් කම්කරුවකුට තේ දලු කිලෝ 18 ක් නෙලීමට නොහැකි වුවහොත් ඒ හේතුවෙන් තම දෛනික වැටුප කප්පාදුවකට ලක් කිරීමක් සිදු වන බව පෙන්වා දෙන ඔවුන් අවධාරණය කර ඇත්තේ පවතින තත්වය අනුව දිනකට එතරම් ප්‍රමාණයක් නෙලිය නොහැකි බවයි.

 

 

සැලකිය යුතු කාලයක් තිස්සේ වගාවට පොහොර යොදා නොමැති බවත් , ජලය සපයා නොමැති බවත් අවධාරණය කරන ඔවුන් පවසන්නේ එම තත්වයන් යටතේ මේ වන විට දිනකට නෙලිය හැකි දලු ප්‍රමාණය කිලෝ 7 – 10 ත් අතර ප්‍රමාණයක් බවයි.

එවැනි පසුබිමක් යටතේ තම වැටුප කප්පාදු කිරීම මහත් අසාධාරණයක් බව පවසන වතු කම්කරුවන් ඒ වෙනුවෙන් දිරි දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර පවතින තත්වය යටතේ ලැබෙන වැටුපෙන් එළැඹෙන තෛපොංගල් දින සැමරුම්වත් සිදු කළ නොහැකි බවයි පවසා ඇත්තේ.

වතු කම්කරුවන් විසින් තම ගැටලුව සම්බන්ධයෙන් වතු පාලකයන් දැනුවත් කළ අතර කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසු ඒ සදහා විසදුමක් ලබා දීමට වතු පාලකයන් අද දිනයේ පොරොන්දු වු බව ගගන නුවරඑලිය වාර්තාකරු වැඩි දුරටත් පවසයි.

වතු හිමියන්ගේ සම්මේලනය සමග අත්සන් කළ සාමුහික ගිවිසුමෙන් වතු කම්කරු දෛනික වැටුප රුපියල් 730 දක්වා වැඩි කිරීමට වෘත්තීය සමිති නායකත්වය එකඟ වුවත්, කම්කරුවන්ගේ ඉල්ලීම වූයේ දිනකට රුපියල් දහසක් දක්වා වැටුප් වැඩි කළ යුතු බවයි.

Related posts

Comments are closed.

Top