වෙළෙඳාම හා සංහිඳියාව ගැන මංගල බ්‍රිතාන්‍ය රජය සමග කතා

යුරෝපා බදු සහන ලැබීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක් පැවතියදී බ්‍රිතාන්‍යය බලා ගොස් සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර එරට විදේශ අමාත්‍යවරයා සමග ද්විපාර්ශවීය වෙළෙඳ ගනුදෙනු ගැන සාකච්ඡා කර තිබේ.

ලන්ඩනයේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ කාර්යාලයේදී 10 අඟහරුවාදා විදේශ අමාත්‍යවරයා බ්‍රිතාන්‍ය අමාත්‍ය බොරිස් ජොන්සන් හමුවූ බව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය දැනුම් දී ඇත.

දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන ප්‍රස්තා වැඩිදියුණු කරගැනීම පිළිබඳව සාකච්ඡා කෙරුනු අතර ශ්‍රී ලංකාවේ ආයතන පිහිටුවීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, සංහිඳියාව ප්‍රවර්ධනය සහ සියලු පාර්ශව ඇතුලත් සංවර්ධනයක් අත් කර ගැනීම සම්බන්ධයෙන් සමරවීර අමාත්‍යවරයා බ්‍රිතාන්‍ය අමාත්‍යවරයාට කරුණු දැක්වූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.

GSP +

ජී එස් පී ප්ලස් යුරෝපා බදු සහනය ලබා ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් ක්ෂේත්‍රයේ පවතින අභියෝගය හමුවේ යුරෝපයෙන් වෙන්වූ බ්‍රිතාන්‍යය සමග ද්විපාර්ශවීය වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම කෙරේ අවධානය යොමුවී තිබෙන බව ශ්‍රී ලංකාවේ රජය විසින් ප්‍රකාශයට පත් වී තිබේ.

කෙසේ වෙතත්, යුරෝපා බදු සහනය මේ වසරේ ලැබෙනු ඇති බවට අගමැතිවරයා මෑතකදී විශ්වාසය පල කොට තිබුනි. 

Related posts

Comments are closed.

Top