සංහිඳියා වාර්තාව රජයට “නොතකා ඉන්න බෑ” චන්ද්‍රිකා | VIDEO

 

 

යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා මහජන අදහස් විමසීමෙන් පසු රජයට බාර දුන් සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ වාර්තාවේ ඇතුලත් කරුණු රජයට නොසලකා හැරිය නොහැකි අතර ඒවා පුලුල් සාකච්ඡාවකට භාජනය කර ආණ්ඩුව විසින් තීරණ ගත යුතු බව හිටපු ජනාධිපතිනිය පවසයි.

නිදහස් ලංකා ඉතිහාසයේම ජාතිවාදය පතුරුවාහැරියේ දේශපාලඥයන් වන අතර මේ වන විට සමහර ස්වාමින්වහන්සේලාද එම කටයුත්තේ නිරතවන බවයි ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපතිනිය, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසන්නේ.

ඇය ඒ බව ප්‍රකාශ කළේ ජාතික සංහිඳියාව හා සමගිය කාර්යංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම එක්ව දියත් කෙරෙන උසස් අධ්‍යාපනය තුළින් ජාතික සංහිඳියාව හා සමගිය ප්‍රවර්ධනය කිරීමේ ජාතික සැලසුම 10 අඟහරුවාදා එළිදැක්වීමේ මාධ්‍ය හමුවේදීය.

ජන්ද ලබා ගැනීමේ පදනමින් දේශපාලනඥයන් ජාතිවාදය පතුරුවන අතර මේ රටේ පවතින ප්‍රධානතම ඛේදවාචකය ද එය බවයි ඇය එහිදී වැඩි දුරටත් පවසා සිටියේ.

 

 

එදා රනිල් සහ අද රනිල්

අගමැති රනිල් වික්‍රමසිංහ වසර විස්සකට ප්‍රථම ප්‍රතික්ෂේප කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම යළි ගෙනඒමට උත්සාහ කරන අතර, එකල තමා පැවසූ දේ අගමැතිවරයා වර්තමානයේ ප්‍රකාශ කරන බවයි හිටපු ජනාධිපතිනි එහිදී වැඩි දුරටත් සදහන් කළේ.

කෙසේ වුවද එම වසර විස්ස පුරාවටම සිදුවූයේ රට විනාශයට පත්වීම බවද ඇය සදහන් කළාය.

තම පාලන සමයේ ගෙන ඒමට කටයුතු කළ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහයෝගය ලබා දුන්නේනම් එය හොද බව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ප්‍රමුඛ බොහෝ පිරිසක් අද පිළිගන්නා බවයි ඇය එහිදී පෙන්වා දුන්නේ.

ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒකාබද්ධව දියත් කරන උසස් අධ්‍යාපනය තුළින් ජාතික සමගිය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන හරහා දැනුම මෙන් ම සමාජය පිළිබඳ ව ගැඹුරු වැටහීමක් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් වෙත ලබාදීම අරමුණ බව එහිදී පවසා ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අවධාරණය කර ඇත්තේ වසර 30ක් පුරා යුද්ධයක් පැවැති වාතාවරණයක් තුළ රටේ පොදු මහජනතාවගේ මෙන් ම විවිධ ජාතීන් හා ආගමිකයන් අතර සංහිඳියාවක් දැකගත නොහැකි වූ බවයි.

 

Related posts

Comments are closed.

Top