බැඳුම්කර වංචාවේ පුද්ගලයන් මහ බැංකු අධිපතිවරයා ආරක්ෂා කරනවා – අන්තර් සමාගම් සේවක සංගමය

මහා බැංකු බැඳුම්කර වංචාවට අදාල පුද්ගලයන් ආරක්ෂා කිරීමට වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමරස්වමි ද කටයුතු කරන බව අන්තර් සමාගම් සේවක සංගමය චෝදනා කරයි.

ඔවුන් මෙම චෝදනාව එල්ල කළේ ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාවෙන් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් මිලියන 1,500ක් පාඩු කිරීමට එරෙහි ව සිදු කළ සේවක උද්ඝෝෂණයක් අනතුරුව මහ බැංකු අධිපතිවරයා මුණ ගැසුණු අවස්ථාවේ දියි.

උද්ඝෝෂණයේ යෙදුන පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව දෙසට පෙළපාලියකින් ගමන් කල අතර එහිදී පොලිස් මාර්ග බාධක යොදා ඔවුන්ගේ ගමන හරස් කිරීමට පොලීසිය කටයුතු කර තිබුණි.

කෙසේ ‍වෙතත් උද්ඝෝෂණයට පැමිණි පිරිසෙන් කිහිපදෙනෙකුට ශ්‍රී ලංකා මහා බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි හමුවීමට අවස්ථාවක් සැලසුන අතර අදාල ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ඇති බවට පැවසෙන පිරිස් වලට එරෙහිව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාට ඔවුහු එහිදී චෝදනා එල්ල කළහ.

ගැටලුව සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාදාමයක් ද සිදුවන නිසා ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව මහ බැංකු අධිපතිවරයා පිරිස හමුවේ ප්‍රකාශ කළේය.

” චෝදනා තවමත් උප්පු වී නැහැ. තවම පරීක්ෂණ පවත්වනවා” යි එහිදී මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

 

 

එවැනි ප්‍රකාශයන් මඟින් තවදුරටත් චුදිතයන් රැකගැනීමට හේතුවන බවත් සිය ධුර කාලයේදී චුදිතයන්ට දඩුවම් ලබා දීමට වත්මන් මහ බැංකු අධිපතිවරයා කටයුතු නොකරනු ඇතිබවට තමන් තුල සැකයක් ඇති බවද එහිදී ඔවුහු සඳහන් කළහ.

 

බැඳුම්කර වංචාව හරහා සේවක ප්‍රතිලාභ කොල්ලකෑමට සම්බන්ධවූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් සේවක අර්ථසාධක අරමුදල සුරක්ෂිත කර ගැනීම සඳහාත් ආණ්ඩුවට බල කිරීමට 19  බ්‍රහස්පතින්දා  කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මේ උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

Related posts

Comments are closed.

Top