පිළිකා ජාන ප්‍රතිකාරයකින් ඖෂධ වලට අභියෝගයක්

පිළිකා රෝගීන්ට ජාන තාක්ෂණයෙන් ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධයක් ඇමරිකා එක්සත් ජනපදය විසින් නිෂ්පාදනය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා පවසයි.

“කයිරුඩා” නම් එම ඖෂධය පිළිකාව නිෂ්පාදනය කරන ජානය ඉලක්ක කර ගන්නා බව අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසා ඇත්තේ 29 බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයේ පැවැති සුව සේවා පත්වීම් ලිපි ප්‍රධානෝත්සවයේ දී ය.

බෝ නොවන රෝග අතුරින් පිළිකා රෝගය මේ වන විට දෙවැනි ස්ථානයට පැමිණ තිබෙන බව පෙන්වා දී ඇති අමාත්‍යවරයා තව වසර කිහිපයක් යනවිට පිළිකාව ප්‍රථම ස්ථානයට පත් වනු ඇතැයි ද අනතුරු අඟවා තිබේ.

ඇමරිකාව විසින් ජාන තාක්ෂණය භාවිත කර ප්‍රතිකාර කොට පිළිකා රෝගීන් සුවපත් කිරීමෙන් ඖෂධ කර්මාන්තය විශාල අර්බුදයකට ලක් වන බවත් ටැබිසුමාට් වැනි පිළිකා ඖෂධ නැති විය හැකි අතර මෙවැනි නූතන වෛද්‍ය විද්‍යාව හදාරන විශේෂඥ වෛද්‍යවරුන් බිහි කළ යුතු බව ද අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් පවසා ඇත.

ජාන තාක්ෂණය භාවිත කරමින් වෛද්‍ය ප්‍රතිකාර කළ හැකි වෛද්‍යවරු 7 දෙනකු සිටින අතර ඔවුන් ලබන අගහරුවාදා කැඳවා වෙනම ඒකකයක් ස්ථාපිත කර ප්‍රතිකාර ක්‍රම ආරම්භ කරන බව ද දොස්තර රාජිත සේනාරත්න එහිදී සදහන් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

Comments are closed.

Top