ඩෙංගු කීටයා ප්‍රියතම භෝජනය කරගත් බැක්ටීරියාවක් පේරාදෙණියෙන්| VIDEO

ඩෙංගු උවදුර පාලනය කිරීම සදහා නව සාර්ථක ක්‍රමවේදයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා හන්තාන ජාතික මූලික අධ්‍යයන අංශය මගින් හදුන්වාදී තිබේ.

ඒ අනුව ස්වාභාවිකව මෙරට ජලාශවල වර්ධනය වී ඇති බැක්ටීරියා අතරින් මදුරු කීටයන් ආහාරයට ගැනීම ප්‍රිය කරන බැක්ටීරියා වර්ගයක් ලබාගෙන එය ජාන තාක්ෂණය ඔස්සේ මදුරුවන්ට විෂ තත්ත්වයට පත් කර මුදා හැරීමේ ක්‍රමයක් මේ යටතේ සාර්ථකව අත්හදා බලා ඇත.

බී.ටී.අයි. බැක්ටීරියාව මෙන් මදුරුවන්ට විෂ සහිත බැක්ටීරියාවක් හදුනා ගත් බවත් එය විද්‍යාගාර යටතේ වර්ධනය කර ක්ෂේත්‍රයට මුදා හැරීම මගින් මදුරු කීටයන් විනාශවන බව නව පර්යේෂණය මෙහෙයවූ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න පැවසයි.

මදුරුවන්ට විෂ ජාන කෘතීමව සකස් කර එම ජාන මදුරු කීටයන් ආහාරයට ගැනීමට ප්‍රිය කරන බැක්ටීරියා සමග මිශ්‍ර කොට ක්ෂේත්‍රයට මුදා හැරේ.

බී.ටී.අයි. සහ සයනෝ බැක්ටීරියා නිපදවන විෂ ජානය මදුරුවන් හා මදුරු කීටයන්ට පමණක් විෂ සහිත වන අතර එය වෙනත් කිසිදු පරිසර පද්ධතියකට හානි දායක නොවීම විශේෂත්වයක් යැයි මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න කියා සිටී.

“මදුරු විශේෂ 130ත් 140ත් අතර ප්‍රමාණයක් පරිසරයේ ජීවත්වන අතර ඔවුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලේ උරා බීම සිදුකරයි. ගැහැණූ මදුරුවන්ට බිත්තර ප්‍රෝටීන වර්ධනය කර ගැනීම හා බිත්තර කටු ශක්තිමත් කර ගැනීම සදහා ලේ උරාබීමක් සිදුකළ යුතුය. මනුෂ්‍ය ශරීරයෙන් මෙන්ම සත්ව ශරීර වලින් ලේ උරා ගැනීම සිදුකරන අතර මෑතකදී වාර්තාවී ඇති ඩෙංගු වෛරසයේ විශේෂත්වය වන්නේ ලේ ලබාගැනීමට ප්‍රථමයෙන් මදුරුවා මිනිස් ශරීරය වෙත මුදාහරින ඛේටය තුළ ඩෙංගු වෛරසය අන්තර්ගත වී තිබීමයි. රුධිරය කැට නොගැසීම සදහා සහ නිර්වින්දනයක් වශයෙන් මෙම ඛේටය මදුරුවා විසින් මුදා හරියි. ලේ බොන මදුරුවන් අතර ගෙම්බන්ගේ ලේ බොන මදුරුවන් සිටීම ද දැකිය හැකි” යැයි මහාචාර්යවරයා පවසයි.

දුම් ගැහීම අසාර්ථකයි

මදුරුවන් පාලනය කිරීම සදහා ධූමායනය කිරීම මුල් අවධියේදී සාර්ථක වූ නමුත් ඩෙංගු වෛරසය සහිත මදුරුවාගේ පරිනාම හා ඔරොත්තුදීමේ හැකියාව හේතුවෙන් ධුමායන ක්‍රියාවලිය සාර්ථක ව පවතින්නේ සියයට බිංදුවයි දශම පහක් වැනි ප්‍රතිශතයකිනි යැයි පවසන ඔහු මදුරුවන් නිරන්තරයෙන් ජිවන චක්‍රයේ විවිධ අවධීන් පසු කරන බැවින් ධූමායනය සාර්ථක නොවන අවස්ථා බහුල බව පෙන්වා දෙයි.

මෑතකදී ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන ලද බී.ටී.අයි. බැක්ටීරියාව නොහොත් බැසිලස් තුරින්ජයන්සීස් (Bacillus thuringiensis) බැක්ටීරියාව ක්ෂේත්‍රයට මුදා හැරීම සාර්ථක වන නමුත් අධික සූර්යය රශ්මිය හේතුවෙන් එම බැක්ටීරියාව විනාශවීම ගැටලුවක් වන බව කී මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න මෙසේ ද කීවේය.

“ඩෙංගු වෛරසය මර්දනය කිරීම සදහා මතුවන ගැටලු කෙරෙහි අවධානය යොමු කරමින් නව පර්යේෂණය දියත් කළා. පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළදී මේ සදහා පර්යේෂණ ගණනාවක් දියත් කොට සාර්ථික ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවුණා. මේ සදහා විශාල මුදලක් වැය වන්නේ නැහැ. බැක්ටීරියාව වර්ධනය කර ගැනීමයි අවශ්‍ය වන්නේ. මේ තුළින් බාහිර වෙනත් පරිසර පද්ධතියකට කිසිදු හානියක් වන්නේ නැහැ. මෙම වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කිරීම මගින් වසර තුනක කාලයකදී ඩෙංගු වෛරසය සහිත මදුරුවන් සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකියි”.

මැලේරියා සහ බරවා

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ශ්‍රී ලංකාව වර්ෂ 2015දී මැලේරියාව තුරන් කළ රටක් බවට පත්ව ඇති බවත් ඉන් වසරකට පසු එනම් වර්ෂ 2016දී බරවා රෝගය තුරන් කළ රටක් බවට ශ්‍රී ලංකාව පත්වූ බව මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න සදහන් කරයි.

 

ජැපනීස් එන්සෙපලයිට්ස් රෝගය මේ වන විට වර්තාවීම අවම වී ඇති නමුත් හැත්තෑව අසූව දශකවලදී රෝගය බහුලව වාර්තාවී තිබුණු බව ඒ ඔහු සදහන් කළේය.

“ඩෙංගු රෝගය පාලනය කළත් එවැනි වෛරස එක් තැනක සිට තවත් තැනකට රැගෙන යන වාහකයා පාලනය කළ යුතුයි. එම වෛරස රැගෙන යන්නේ මදුරුවා විසින්. මදුරුවා මර්දනය නොකර රෝග ව්‍යාප්තිය පාලනය කළ නොහැකියි. සීකා, කහඋණ වැනි රෝගවලින් ශ්‍රී ලංකාවට මේ දක්වා කිසිදු බලපෑමක් සිදුව නොමැති නමුත් එම වෛරස රැගෙන යන වාහකයා වන්නේ මදුරුවායි. ඒ නිසා ඉදිරියේදී ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි රෝග පාලනය කිරීමට නම් රෝග වාහකයා පාලනය කළ යුතු යි” මහාචාර්ය වැඩි දුරටත් පවසයි.

ශ්‍රී ලංකාවේ දැනට ජීවත්වන මදුරුවන් වෙන් කර හදුනා ගැනීම සදහා ඩී.එන්.ඒ. දත්ත පද්ධතියක් ක්‍රියාත්මක කර තිබෙන බව ද ඔහු සදහන් කළේය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුව හා හන්තානේ පිහිටි ජාතික මූලික අධ්‍යයන අයතනය එක්ව සිදුකරන නව පර්යේෂණය සදහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්යවරුන් වන ප්‍රියංකා ද සිල්වා, තිළිණි වීරරත්න, හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය ධම්මිකා මගනාරච්චි ඇතුලු පර්යේෂණ කණ්ඩායමක් මේ සදහා සම්බන්ධවී සිටිති.

මහනුවර නදීක දයා බණ්ඩාර 

Related posts

Comments are closed.

Top