ළමා ශ්‍රමය සූරා කෑමට ලෝක බැංකුවෙන් කෝටි ගණන් 

 

කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ළමා ශ්‍රමය බලහත්කාරයෙන් යොදා ගන්නා බවට  එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වා ලෝක බැංකුව දිගටම එම  අපචාරය සිදු කරමින් ඉන්නා බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් හෙලි කොට තිබේ.

උස්බෙකිස්තානයේ කපු පුළුන් කර්මාන්තය උදෙසා ළමා ශ්‍රමිකයන් බලහත්කාරයෙන් යොදා ගැනීම පිළිබඳ විස්තර  දැක්වෙන පිටු 115ක අලුත්ම වාර්තාවක් වොෂින්ටනය මුලස්ථාන කොටගත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් සහ මානව අයිතිවාසිකම් සඳහා උස්බෙක් ජර්මානු සංසදය ඉදිරිපත් කර තිබුනේ පසුගිය ජුනි 27 වැනිදාය.

ලෝක බැංකුව සිය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේදී කම්කරු අයිතිවාසිකම්වලට සහ ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් සැලකිලිමත් වී කටයුතු කිරීමට පෙළඹෙනු ඇතැයි වාර්තාව එලි දැක්වීමෙන් අනතුරුව ඔවුහු බලාපොරොත්තුව පල කොට තිබුනි.

කෙසේ වෙතත් උස්බෙකිස්ථාන කපු පුළුන් කර්මාන්තය උදෙසා වාසි සලසන තවත් වාරිමාර්ග ව්‍යාපෘතියකට ණය මුදලක් සඳහා ජුනි 30 වැනිදා ලෝක බැංකුවේ විධායක මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

ඇමරිකානු ඩොලර් මිලියන 145 වටිනාකමකින් යුත් මෙම  ව්‍යාපාරයට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට ඔස්ට්‍රේලියාව කටයුතු කර තිබේ.

ඇමරිකාව, එක්සත් රාජධානිය සහ උතුරු යුරෝපා රටවල් ඡන්දය දීම ප්‍රතික්ෂේප කර ඇත.

නමුත් කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් නිරතුරුව පෙනී සිටින මණ්ඩලයේ ඉතිරි රටවල් වන කැනඩාව, ප්‍රංශය, ජර්මනිය සහ නෙදර්ලන්තය මේ සඳහා එකඟත්වය පල කර තිබීම ගැන වාර්තාව එලි දැක්වූ සංවිධාන විශ්මය පල කර තිබේ.

මෙම නව කෘෂිකාර්මික ව්‍යාපෘතිය රටෙහි බටහිර ප්‍රදේශයේ දැනට සිදු කෙරෙමින් පවතින කෘෂි ව්‍යාපාරයකට සම්බන්ධය.

පෙර වැරදි

2015-16 අතර කාලය තුළ සිදු කළ එකි ව්‍යාපෘතියේදී, කපු අස්වනු ලබා ගැනීම සඳහා වැඩිහිටියන් මෙන්ම ළමයින් ද බලහත්කාරයෙන් යොදා ගත් බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දී තිබුණි. එහිදී මානව හිමිකම් උල්ලංඝනය  සම්බන්ධ චෝදනා ලැබුව ද නව කෘෂිකර්ම ව්‍යාපෘතිය නවතා දැමීමට ලෝක බැංකුව කටයුතු නොකළ බව වැඩිදුරටත් එම සංවිධාන පෙන්වා දෙයි.

ලෝක බැංකු ව්‍යාපෘතිය ඇතුළු නව ව්‍යාපෘතිය සඳහා රටෙහි ප්‍රදේශ හතරක සේවය කිරීමට වයස අවුරුදු 10 ක් පමණ වන දරුවන් ද උස්බෙකිස්ථාන රජය විසින් යොදා ගෙන ඇති බව පර්යේෂකයන් විසින් අනාවරණය කරගෙන ඇත.

ළමා ශ්‍රමිකයන් අවම කිරීම සඳහා 2012 -13 අතර කාල වකවානුවේදී ලෝක බැංකුව විශාල දායකත්වයක් ලබා දුන් බවට කෙරෙන වාර්තා එමඟින් බොරුවක් බවට පත්ව තිබෙන බව වාර්තාව පෙන්වා දෙයි.

Related posts

Comments are closed.

Top