මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ

 

බහිරවයාට මධුපැන් පුජා කරන ඉන්දීය බැතිමතුන්

 

ඉන්දීය මන්ත්‍රීවරයකු විසින් එරට සුරා පාන වෙළෙඳ නාම සමග හින්දු දෙවිවරුන් ඈඳමින් රාජ්‍ය සභාව තුල කරන ලද කතාවක් සභාව දෙවතාවක්ම කල් දමන්නට තුඩුදුන් කලහයකට හේතුවී තිබුනි. සමාජවාදී පක්ෂයේ නායක සුරේෂ් අග්‍රවාල් විසින් කරන ලද එම සඳහන හින්දුවාදී භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කෝපයට හෙතුවීමෙන් අනතුරුව නියෝජ්‍ය සභාපති පී ජේ කුරියන් විසින් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලදී. දෙවි දේවතාවියන් හා මධුවිත අතර සම්බන්ධයක් නැතිය යන මතය දේව පුරාණ ඇසුරින්ම ඛණ්ඩනය කරමින් දිල්ලි විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ ප්‍රධානී මහාචාර්ය ජේ එන් ජා විසින් ඉන්දියන් එක්ස්ප්‍රස් සඳහා ලියන ලද What the gods drank නම් මේ ලිපිය සිංහලට නැගුවේ අභිෂේකා වාසලබණ්ඩාර.

සුරාවෙහි රසයත්

සරා එහි ඇති ගුණයත්

බොන අය මිස වෙනත්

නොබොන අනුවණ දනෝ නොදනිත්

 

දෙවියන් රජුන්ටත්

පෙර විසු උතුම් සතටත්

පිහිට වූ යහපත්

සුරා බීමෙන් දොසක් නම් නැත්

(තෙරිපැහැ සෝමානන්ද හිමියන් විසින් සංගෘහිත සිංහල මාල කවි සංග්‍රහයේ එන සුරා මාලයෙන්)

 

හින්දු දේවතාවකු මධ්‍යසාර හා සම්බන්ධ කරමින් ප්‍රකාශයක් සිදු කළේ යැයි කියන චෝදනාව මත රාජ්‍ය සභාවේ ඇතිවූ කෝලාහලයක් ඇතිවූ බව ජනමාධ්‍ය ඔස්සේ දැනගත් මම පුදුමයට පත් වුනෙමි. උක්ත ප්‍රකාශය ඉවත් කරගෙන ඇති බැවින් දේවතාවා ගැන කතා කළ මන්ත්‍රී හෝ එකී දේවතාවාගේ නාමය මෙහි සඳහන් නොකිරීමට මම වග බලා ගත්තෙමි.

අතීත තොරතුරු අපේ දේශපාලකයන්ගේ විෂය පථයට එතරම් බලපෑමක් එල්ල නොකරන බැවින් ඔවුන් හින්දු ජනශ්‍රැතිය පිළිබඳ විශිෂ්ඨයන් නොවන්නට පුළුවන්. නමුත් තමන් අදහන සහ ආරක්ෂා කරන දෙවිවරුන්ගේ ගතිගුණ, ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මුලික අදහසක් ඔවුන්ට තිබිය යුතුයි. ලිවීමට ඇති ඉඩකඩ අවම හෙයින් මධුපානය කළ සියලුම දෙවි දේවතාවුන්ගේ ගති ලක්ෂණ පිළිබඳ මෙහි කතා කතා කිරීමට මට නොහැකියි. නමුත් මෙම ලිපිය කියවන පාඨකයන්ගේ අවධානය සුරාවට ලොල් වූ දේවතාවන් කිහිප දෙනකු වෙත යොමු කිරීමට මම කැමතියි.

 

 

වේද ග්‍රන්ථවල සඳහන් වන පරිදි සෝම යනු දේවතාවෙකි. එසේම මත් බව ඇති කරවන සුළු බීම වර්ගයක් සාදන ශාකයකින් ව්‍යුත්පන්න වූ නාමයකි. පුදපුජා සඳහා පිළිගන්වන්නකි. මෙම පානය, සාමාන්‍ය ජනතාව අතර ප්‍රසිද්ධ සුරා නම් පානයට හාත්පසින්ම වෙනස් වන බවට එක් නිගමනයක දැක්වේ. වේද ග්‍රන්ථ වල නම්  සඳහන් දේවතාවන් රාශියකගේ ප්‍රියතම පානය වී ඇත්තේ සෝම පානයයි. විශේෂයෙන් සෘග් වේදයේ නිරතුරුවම සඳහන් කෙරෙන ඉන්ද්‍ර, අග්නි, වරුන, මරුත් වැනි තවත් දෙවිවරුන් පුද කිරීම සහ සතුටු කිරීම උදෙසා වැඩි වශයෙන් මෙම පානය යොදා ගත් බව සැලකේ. ගුණනාම 45 කට පමණ හිමිකම් කියන, සෘග් වේදය තුළ වැඩිපුරම නම කියවෙන ඉන්ද්‍ර දේවතාවාගේ සහභාගිත්වය මෙහිලා වැඩි වශයෙන් සඳහන් කළ හැකියි. යුද්ධයට අධිපති, අකුණු පාලනය කරන්නාවූ, රළු, කාමමිත්‍යචාරී සහ අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා විශාල උදරයකින් යුත් අයකු ලෙස ඔහු හඳුන්වා දෙනු ලබන අතර සුරා ලෝලියකු ලෙසින්ද ඉන්ද්‍ර හැඳින්වේ. වෘත්‍රා නම් මකරකු මරා දැමීමට ප්‍රථම සෝම පානයෙන් පිරි ජලාශ තුනක් ඔහු විසින් හිස් කරන ලද බව පුරාණෝක්ති වල සඳහන් වේ. ඉන්ද්‍ර මෙන්ම බොහොමයක් දේවතාවන් මත්පැන් පානය කළ නමුත් ඔහු මෙන් සුරා සොඬුන් නොවන බව කිව මනාය. එයට උදාහරණයක් ලෙස අග්නි දෙවියන් ගත හැකිය. කෙසේ වුවත් කරුණු විශ්ලේෂණය කර බැලූ විට පෙනී යන්නේ අමද්‍යප යන පදය වේදික දේවතාවන්ට නොගැලපුන බවත් මධු පානෝත්සව දේව ගෞරවය රඳා පවත්වා ගැනීමේ අනිවාර්ය අංග ලක්ෂණයක් වී ඇති බවත්ය. වජේපෙයා යාගයට ප්‍රථම මධු පාන රාශියක් චාරිත්‍රයක් ලෙසින් පුද කෙරේ. එහිදී ඉන්ද්‍ර දෙවියන්ට මධු බඳුන් 5ක් ද, සෝම බඳුන් 17 ක් සහ සුරා බඳුන් 17 ක් අනෙකුත් දේවතාවන් 34 දෙනාට ද පුද කරනු ලැබේ.

 

ඉන්ද්‍ර දේවතාවා ගේ සිතුවමක්

 

විෂ්ණු දෙවියන් ගේත් සීතා දේවියගේත් සුරා පාන

වීර කාව්‍යයන්හි එන, හින්දු ආගම තුළ දේවත්වයෙහි ලා සැලකෙන සමහර චරිත පවා මත්පැන් පානය කළ බව සඳහන් වේ. මහාභාරතයේ දැක්වෙන පරිදි විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙසින් සැලකෙන ක්‍රිෂ්ණා සහ අර්ජුන්, ද්රෞපදී සහ සත්‍යභාමා (ක්‍රිෂ්ණගේ බිරිඳ සහ භූ දේවියගේ අවතාරයක්) සමඟ සිටීමේදී බසියා මධු පානය කිරීමෙන් ප්‍රබෝධයට පත්ව ඇත. තව ද  මහාභාරතයෙහි උප ග්‍රන්ථයක් වන හරිවංශයේ මෙසේ ද සඳහන් වේ. විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් වන බලරාම “කදම්බ පානයෙන් ඇති පදම් මත්ව” සිය බිරිඳ සමඟ නර්තනයේ යෙදුණේය. විෂ්ණුගේ තවත් අවතාරයක් ලෙස හඳුන්වන රාමා, “පාරිශුද්ධ මයිරෙයා මධු පැනින් සිය භාර්යාව සීතා ප්‍රබෝධයට පත් කර තිබේ” යනුවෙන් රාමායනයේ සටහන් වී තිබේ. කෙසේ වෙතත් මධුපැනට සීතාගේ විශේෂ ලැදියාවක් තිබු බව අපට දැකගන්න පුළුවන.

 

ශ්‍රී ලංකාවේ නුවරඑලිය ප්‍රදේශයේ පිහිටා ඇති සීතා අම්මාන් කෝවිල

 

මාංශ සමඟ පිසූ බත් (අපිට එය බුරියානි ලෙසින් හඳුන්වන්නටත් පුළුවන්) සහ මධු බඳුන් දහස් ගණනක් ලබා දීමට ගංගා නදිය තරණය කරන අවස්ථාවේදී ඇය පොරොන්දු වී තිබේ. සිය ස්වාමියාගේ බාරය ඉෂ්ට වූ පසු යමුනා නදියට ගවයන් දහසක් සහ මධු බඳුන් සියයක් පුජා කිරීමට ඇය ඉටා ගෙන තිබේ. දේවතාවන්ගේ මත්පැන් භාවිතය වේද ග්‍රන්ථ සහ වීර  කාව්‍යයට පමණක් සීමා නොවුණකි. පුරාණෝක්තිවලට අනුව ක්ෂීර සාගරය කැළඹීමෙන් මතු වූ වරුනි, යනු මධුපානයට අධිපති ඉන්දීය දේවතාවෙකි. බලගතු මත්පැන් වර්ගයක් සඳහා ද වරුනි යන නාමය යොදා ගනී.

වරුණි 

කාලි මෑණියන්ගේ මධු පාන

තාන්ත්‍රික ධර්මයේ මුල් තැන ගන්නා පංච මකරුන් වේ. මධ්‍ය (මත්පැන්), මාංශා (මාංශ), මත්ස්‍ය (මාළු), මුද්‍ර (අභිනය) සහ මෛතුන්‍ය (ලිංගික සංසර්ගය) එකී පංච මකරුන්ය. මේවා දේව පූජාය. මෙම පංච මකරය, දෙවියන් උදෙසා පුද කිරීමට අවසර ලැබෙන්නේ වාමචාර පූජා විධි අනුගාමිකයන්ට පමණකි. කාලි දෙවඟනගේ තන්ත්‍ර සබැඳියාව සහ විවිධාකාර රූපාකාර පිළිබඳව නොසෑහෙන තරම් කතා කිරීමට හැකි නමුත් කාලි දෙවඟනගේ එක් ස්වරූපයක් වූ චණ්ඩමාරී සම්බන්ධයෙන් අනිවාර්යයෙන් මෙහි සඳහන් කළ යුතුය. 11 වැනි සියවසේ ලියවුනු ලේඛනයකට අනුව ඇය මිණී හිස් කබල් මධු බඳුන් ලෙස භාවිතයට ගන්නීය. “මධු සහ මාංශ පිලිවෙලින් ශක්ති සහ ශිව සංකේතවත් කරන අතර ඒවා පාවිච්චියට ගන්නේ බහිරවයායි,” යනුවෙන් පුර්ව මධ්‍යකාලින ලේඛනයක් වන කුලර්ණවතන්ත්‍රයේ ප්‍රකාශ වී ඇත. මෙහි පුදුම වීමට කරුණක් නැත්තේ  පුරාණ ඉන්දියානුවන් විසින් බහිරවයාට මත්පැන් පූජා කරන ලද හෙයිනි. මෙම පුරුද්ද මෑත කාලය වනතෙක්ම පැවතෙන බව දිල්ලි බහිරව කෝවිලේ සහ උජ්ජයින් හි පිහිටි කලා බහිරව පුජස්ථානවලදී ඕනෑ කෙනෙකුට දැක ගත හැකිය. “ධර්මා නම් දේවතාවක ඉදිරියට සුවිසල් මධු බඳුනක් ගෙන එනු ලැබීම” බිර්බුම් හි තවමත් සිදු කෙරේ. මධු නිපදවන කුලයට අයිතිවාසිකම් කියන ඇය, ඔවුන් විසින් සුන්දී විමානයට කැඳවාගෙන යන්නේ මහ පෙරහැරකිනි. තාන්ත්‍රික ආගම් සහ ගෝත්‍රික ආගම්වලට අනුව දේවතාවන් නිතර, විවිධාකාර අයුරින් මත්පැන් හා සම්බන්ධ වෙයි. මත්පැනට දෙවි දේවතාවුන්ගේ ඇති ලාලසාව සහ ඔවුන්ගේ පුද පුජාවන් එයින් තොරව සිදු කළ නොහැකි බව මෙම උදාහරණ වලින් මොනවට ඔප්පු වේ.

 

චණ්ඩමාරි  

 

මධු වර්ග අඩ සියයක්

ආසන්න වශයෙන් 50 ක පමණ විවිධ වූ මධු පාන වර්ග රාශියක් පුරාණ ඉන්දියාවේ පැවති බව පෙන්වා දිය හැකියි. මිනිසුන් විසින් මත්ද්‍රව්‍ය පානය කිරීම එවකට ඉතාම සාමාන්‍ය කරුණක්ව පැවතුණි. බ්‍රාහ්මීයයන් විසින් ඉඳහිට පෑ ධර්මශාස්ත්‍රීය විරෝධය තිබියදී කාන්තාවන් අතරේ වුවද මධු පානය සුලබව දක්නට තිබුණි. බෞද්ධ ජාතකකතා පුස්තකය පවා සුරාව ඔස්සේ විවිධ උදාහරණ දක්වයි. සංස්කෘත සාහිත්‍ය පිරි ඇත්තේ ද මත්පැන් හා සම්බන්ධ නිර්දේශවලිනි. කාලිදාස සහ අනෙකුත් කවීන්ගේ කලා නිර්මාණවල ද මත් පැන් පිළිබඳ නිතර කතා කෙරෙයි.

පුරාණ ඉන්දියානුවෝ සුඛෝපභෝගී ජිවිත ගත කළ ඇත්තෝ වෙති. ඔවුන්ගේ දෙවිවරු ජිවිතයේ යහපත් දේවල්වලට ආලය කළා නම්, අපේ දේශපාලකයින් දිව්‍ය සුඛපරමවාදය හේතුවෙන් ගුටිබැට දීම් නොකළ යුතුයි. තහනම් කිරීම් ගැන සැලකිලිමත් වන්න.

අමතක කරන්න එපා, දෙවිවරු බලාගෙන ඉන්නේ!

Related posts

Comments are closed.

Top