හිදැස: පළාත් සභා ඡන්ද සංශෝධනය, යුද අපරාධ, ජගත් ජයසූරිය හා සරත් ෆොන්සේකා

ප්‍රධාන පුවත් තුනක් සිංහල මෙන්ම දමිළ පුවත්පත් සඳහා පොදුවූ බව දක්නට ලැබිණි. (අ) පළාත් සභා මැතිවරණ (සංශෝධිත) පනත සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, (ආ) හිටපු යුධ හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව බ්‍රසීලයේ ගොනුකොට ඇති අපරාධ නඩුව සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා විසින් කළ ප්‍රකාශය ආශ්‍රිත අර්බුදය සහ (ඇ) 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ විවාදය එම පුවත් වේ.

දමිළ පුවත්පත් මගින් ආරම්භයේදී 20 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වූයේ එය බලය විමධ්‍යගත කිරීම වළක්වා ලන්නක් සහ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් ලෙසින් සලකමිනි. නැගෙනහිර පළාත් මහ ඇමැති අහමඩ් නසීර් ඇතුළු දමිළ සහ මුස්ලිම් නියෝජිතයන් විසින්, පාර්ලිමේන්තුවේ විෂය සීමාව යටතේ පළාත් සභාවන් නියමිත කාලයට කලින් විසුරුවා හැරීම සඳහා නව ව්‍යවස්ථාවේ වන විධිවිධානයන් නැවත නැවතත් මතුකොට දක්වා සිටියේ ඉහත කී දෙයට එය ප්‍රධාන උදාහරණයක් ලෙසින් ගනිමිනි. කෙසේ වුවත් නැගෙනහිර පළාත් සභාව මගින් ව්‍යවස්ථාවට පක්ෂ වීමට ගත් තීරණයත් සමගින් දමිළ පුවත්පත් මඳක් වෙනස් වී තිබිණි. මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් ෆෙඩරල්වාදයට සම්බන්ධ වෙනස්කම්, සමාන ආගමික අයිතීන් ලැබීම සහ උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීම සිදුවන්නේ නම් පමණක් යන කොන්දේසිය යටතේ සිය පක්ෂය 20 වැනි සංශෝධනයට සහාය පළ කරන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් විසින් කියා සිටියද, උතුරු පළාත් සභාව ඒ අනුව ක්‍රියාකරනු ඇතිද යන්න තවමත් අවිනිශ්චිත වේ.

දෙමළ ජාතික සභාව මගින් යාපනයේදී නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත්කිරීමේ වැඩසටහනක් අතරතුරදී යෝජනාවක් සම්මත කරගන්නට යෙදුණු අතර, එයින් ස්වයංනිර්ණ ප්‍රතිපත්තිය පිළිගන්නා සහ උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කරනා, නිරාගමික ව්‍යවස්ථාවක් සඳහා ඉල්ලීම් කොට තිබුණි.  මෙම යෝජනාවට දමිළ පුවත්පත් තුළ පුළුල් සහායක් ලැබී තිබුණත්, වීරකේසරී කතුවැකිය මගින් අනතුරු හඟවා තිබුණේ මෙම සියලු දෙය එක්වර ලබාගැනීම පමණක් අරමුණු කරගනිමින් දුවන දිවීමකට විරුද්ධවයි.

මේ අතර තිනකුරල් සිරස්තලයක් මගින් හැඟවුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වන කිසිදු නමක් ත්‍රිවිධ හමුදාවේ වාර්තා තුළ නැතැයි යනුවෙන් අතුරුදන් වූවන්ගේ පවුල් වල අයට දන්වා සිටීම මගින්, ඔහු අතුරුදන් වූවන්ගේ පවුල් වල අය අත්හැර දැමූබවයි. මෙම ගැටළුව සම්බන්ධයෙන් ප්‍රගතියක් නොදැක්වීම පිළිබඳව බොහෝ ප්‍රධාන දිනපතා දමිළ පුවත්පත් ලිපි තුළින් රජය දැඩි විවේචනයට ලක්වී තිබිණි.

සුළුතරය සහ පළාත් සභා මැතිවරණ පනත

පළාත් සභා මැතිවරණ පනත (සංශෝධිත) සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිංහල මෙන්ම දමිළ පුවත්පත් තුළද ප්‍රධාන මාතෘකාවක්ව තිබිණි. සිංහල පුවත්පත් මගින් මෙය සුබවාදී ඉදිරි පියවරක් ලෙසින් දක්වා තිබුණද, දමිළ පුවත්පත් මේ සඳහා ලබාදුන් ප්‍රතිචාරය මිශ්‍ර හැඟීම්වලින් යුතු විය.

දමිළ පුවත්පත් තුළ දක්නට ලැබුණු සෘණාත්මක ප්‍රතිචාරය ප්‍රධාන වශයෙන්ම එල්ල වී තිබුණේ, සමානුපාතික නියෝජනයක් ඇති තැනකදී මිශ්‍ර-නියෝජිත සමානුපාතික ක්‍රමයක් මගින්, උඩරට දමිළ ප්‍රජාවන්ට සහ ඒ හා සමාන දකුණේ වෙසෙන මුස්ලිම් හා දමිළ කුඩා කණ්ඩායම් වලට අහිතකර බලපෑමක් සිදුකරනු ඇතැයි යන්නටය. මෙම ප්‍රශ්නය සිංහල පුවත්පත් වාර්තා තුළ නොනැඟුණු බවද දක්නට ලැබිණි.

මෙම පසුබිමෙහිදී නුවර එළියේ පළාත් පාලන ආයතන ගණන වැඩිකරගැනීමට උඩරට දේශපාලන පක්ෂ මගින් ගෙනයන ව්‍යාපාරයට දමිළ පුවත්පත් පුළුල් ලෙසින් සහයෝගය ලබාදී තිබිණි. වර්තමානයේදී නුවර එළිය දිස්ත්‍රික්කයේ ඇත්තේ එක් මහ නගර සභාවක්, නගර සභා දෙකක් සහ ප්‍රාදේශීය සභා පහකි. මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා වන ප්‍රධානම උපායමාර්ගය වන්නේ, පවත්නා ප්‍රාදේශීය සභා උප කොටස් වලට එනම් පහේ සිට දොළහ දක්වා බෙදීමත්, ඒ යටතේ ඇති ග්‍රාම නිලධාරී වසම් තවදුරටත් කොටස් කිරීම සහ නැවත වෙන් කිරීමත් ය.

කාටූනය සඳහා අනුග්‍රහය: වීරකේසරී

ජන අනුපාතයේ වෙනස්කම්

වීරකේසරී තීරු ලිපියක් මගින් මතුකොට දැක්වූ ආකාරයට රටේ ප්‍රාදේශීය සභාවක් මගින් දළ වශයෙන් මිනිසුන් 65,000 ක් පමණ දෙනා ආවරණය කරන නමුත්, නුවර එළියේ ඇති ප්‍රාදේශීය සභා පහෙන් දෙකක්ම ජනගහණය 200,000 ද ඉක්මවන කොටස් ආවරණය කරයි. මීට සමාන ලෙසින් සාමාන්‍යයෙන් ග්‍රාම නිලධාරී වසමකින් මිනිසුන් 1,500 කට පමණ සේවය ලබාදීම දළ අගය වුවත්, නුවර එළිය දිස්ත්‍රික්කයේ යම් යම් ග්‍රාම සේවා නිලධාරී වසම් මගින් මිනිසුන් 10,000 කටත් අධික ප්‍රමාණයක් ආවරණය කරනු ලබයි. මෙම ගැටළුව විශේෂයෙන්ම උග්‍ර වන්නේ උඩරට දමිළ ප්‍රජාව බහුතරය ලෙසින් පවත්නා ස්ථාන වලයි. මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් ගත් විට හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ සිංහල ජනගහණය 85% ක් පමණ වන අතර, එහි එක් ග්‍රාමසේවා නිලධාරී වසමක් පවතින්නේ මිනිසුන් 136 දෙනෙකුට පමණි.

සීමා නිර්ණ ක්‍රියාවලියේදීද මීට සමාන ගැටළු පැනනගිනු ඇතැයි තිනකුරල් මගින් බිය පළකොට තිබුණේ උතුරු නැගෙනහිර සිංහල ජනාවාස ඇතිකිරීම රජය මහත් කැමැත්තෙන් සිදුකරනු ඇති බවටත් (මුලතිවුහි වැලිඔය මෙන්) ඔවුන්ට වෙනම පළාත් සභා සහ මැතිවරණ කොට්ඨාස ලබාදෙනු ඇති බවටත්, එසේ වුවත් දකුණේ විසිරී සිටිනා දමිළ සහ මුස්ලිම් ජනගහණය සම්බන්ධයෙන් එය එසේ සිදුනොවනු ඇති බවටත් ය. එමනිසා දමිළ පුවත්පත් තුළ වූ අදහස වූයේ, නව මැතිවරණ ක්‍රමය යටතේ පවත්වන පළාත් සභා මැතිවරණ වලදී සුළුතරය අතර වෙසෙනා බහුතරය විසමානුපාතිකව වාසිය ලබාගනු ඇති බවත්, බහුතරය අතර වෙසෙනා සුළුතරය එහිදී පරාජය ලබනු ඇති බවත් ය.

ජගත් ජයසූරියට එරෙහිව සරත් ෆොන්සේකා

හිටපු යුද හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව බ්‍රසීලයේ අපරාධ චෝදනා යටතේ නඩුවක් ගොනුකිරීමත්, එහිදී ජයසූරියට එදිරිව සාක්ෂි ලබාදෙන්නට තමන් ඉදිරිපත් වන බවට සරත් ෆොන්සේකා විසින් කළ ප්‍රකාශයත්, ඉන් පසු දේශීය මෙන්ම විදේශීය දේශපාලන භූමිකා හොබවන්නන් වෙතින් ලැබුණු ප්‍රතිචාරත් පසුගිය සති දෙකේ ද්විභාෂා පුවත්පත් තුළ ආධිපත්‍යය දරා තිබිණි.

මෙහිදී සිංහල සහ දමිළ පුවත්පත් මතාන්තරයන් අතර වන ප්‍රතිවිරෝධතා වෙන කවදාටත් වඩා පැහැදිලිව පෙනිණි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් ෆොන්සේකාගේ මෙම මැදිහත්වීමෙන් වාසි ලබාගනු ඇත්තේ එල්ටීටීඊ ඩයස්පෝරාව’ බව දිවයින කතුවැකියකින් පවා කියා සිටින අතරේදී, වීරකේසරී මගින් නිරීක්ෂණය කොට තිබුණේ, හිටපු හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව සාක්ෂි දීමට ෆොන්සේකා දක්වන බවට ප්‍රකාශිත කැමැත්ත යුක්තිය සොයනා සියලුම දමිළයින් හට ‘ධෛර්යය ලබාදෙන මූලයක්’ වනු ඇතැයි යනුවෙනි.

සමස්තයක් ලෙසින් ගත් විට, තමන්ට එරෙහිව ඇති අපරාධ නඩුවක් සමස්ත රටටම ‘දැඩි අනතුරක්’ වනු ඇති බවට ජයසූරිය විසින් කළ අනතුරු ඇඟවීම් අවිචාරාත්මකව පළ කරන්නට යෙදුණු සිංහල පුවත්පත් වලට වඩා මේ සම්බන්ධයෙන් වූ දමිළ පුවත්පත් ආවරණය වඩාත් සියුම් විණි. වීරකේසරී සහ තිනකුරල් පුවත්පත් තුළ වූ සම්පූර්ණ පි‍ටු ලිපි දෙකක් මගින් පැහැදිලිවම දක්වා තිබුණේ ජගත් අධිකරණ බලයක් යටතේ ගොනු කරනු ලබන අපරාධ චෝදනාවක් විභාග කෙරී ඉදිරියට යෑමෙන් කෙළවර වීම විය නොහැකි තරම් වන බවත්, ඒ නිසා ජයසූරියටවත් කිසිදු අනතුරක් නොමැති බවත්ය. අනෙක් අතට මෙවැනි අපරාධ නඩු පැවරීමෙන් ලැබෙන ප්‍රබලතම ප්‍රතිඵලය වන්නේ, ශ්‍රී ලංකාව මගින් ‘යුද විරුවන්’ හට රාජ්‍ය තාන්ත්‍රික පදවි පිරිනැමීමට බාධා පැමිණවීම වනු ඇති බවත්, ඒ නයින් දේශීය සංක්‍රාන්ති යුක්තිය සඳහා හෝ අතුරුදන් වූවන් පිළිබඳව නව තොරතුරු අනාවරණය සඳහා උත්ප්‍රේරණයක් ලැබෙනු ඇති බවත් දැක්විණි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top