හිදැස: අල් හුසේන් ප්‍රකාශය, ජාත්‍යන්තර අධිකරණ අවදානම හා විග්නේස්වරන්ගේ මල්වතු, අස්ගිරි හමුව

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් විසින් 36 වැනි මානව හිමිකම් කවුන්සිල සැසියේදී ශ්‍රී ලංකාව අරබයා කළ ප්‍රකාශය සහ ඊට රට තුළින් නැඟුණු ප්‍රතිචාර, දමිළ සහ සිංහල පුවත්පත් තුළ ප්‍රධාන පුවත් මවා තිබිණි.

දිනපතා දමිළ පුවත්පත් මෙහිදී ප්‍රමුඛ වශයෙන් කොමසාරිස්වරයාගේ කථාවේ අන්තර්ගතය වාර්තා කොට තිබිනි. උදාහරණ ලෙසින් දක්වන්නේ නම් වීරකේසරී පුවත්පත මගින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටිනා සිරකරුවන් නිදහස් කිරීම, උතුර හා නැගෙනහිර හමුදා ඛණ්ඩ ඉවත් කිරීම සහ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාකාරී තත්වයට පත් කිරීම වැනි ප්‍රධාන වශයෙන් සැළකිල්ලට ලක්විය යුතු කරුණු අටක්, මුල් පි‍ටුවේම ලැයිස්තුවක් ලෙසින් සාරාංශගත කොට දක්වා තිබිණි. කෙසේ වුවත් අල් හුසේන්ගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් සිංහල පුවත්පත් මගින් වඩාත් ඉහළ ආවරණයක් ලබාදී තිබුණේ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් වූ ප්‍රතිපක්ෂ ප්‍රතිචාර වෙතයි. එසේ හෙයින් හුසේන්ගේ ප්‍රකාශයන්ගේ ස්වභාවය සහ හරය සම්බන්ධයෙන් සිංහල පුවත්පත් තුළ තොරතුරු වල හිදැසක් දක්නට ලැබිණි.

ජිනීවා පොරොන්දු දීම හා ඉටු නොකිරීම

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනා සම්මතය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සිංහල මෙන්ම දමිළ පුවත්පත්ද රජයට විවේචනයන් එල්ල කරන්නට යෙදී තිබිණි. දමිළ පුවත්පත් මගින් රජයට විවේචන එල්ල කොට සිටියේ 30/1 යෝජනා සම්මතයන්හි මානව හිමිකම් සහ සංක්‍රාන්ති යුක්තිය සඳහා වන විධාන ඉ‍ටු කිරීමෙහිලා දක්වන දුර්වල ප්‍රගතිය සම්බන්ධයෙනි. මේ අතරේදී සිංහල පුවත්පත් තුළ විශේෂාංගයන් ලෙසින් වූ විවේචන (ප්‍රධාන වශයෙන් ඒකාබද්ධ විපක්ෂයෙන් මතුවුණු) එල්ල වී තිබුණේ ක්‍රියාකාරීත්වයක් නොතිබීම සම්බන්ධයෙන් නොව එසේ පොරොන්දුවක් දීම සම්බන්ධයෙනි. මෙසේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රගතිය සම්බන්ධයෙන් සිංහල සහ දමිළ පුවත්පත් තුළ වූ හැඟීම් සම්පූර්ණයෙන්ම අන්ත දෙකක ඇති බව දක්නට ලැබිණි.

හුසේන්ගේ මැදිහත්වීමේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ක්‍රියාත්මක කරවීම පිළිබඳව වූ ප්‍රකාශය ප්‍රධාන ධාරාවේ සිංහල පුවත්පත් මගින් විශාල වශයෙන් නොතකා හැර තිබිණි. ඊට සම්පූර්ණයෙන්ම වෙනස් ලෙසින් දමිළ දේශපාලන ලියුම්කරුවන් විසින් පුන පුනා සඳහන් කරන්නට යෙදී තිබුණේ, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සඳහා පනත පාර්ලිමේන්තුවේ සම්මත වී මාස ගණනක් ගතවී තිබුණද කොමසාරිස්වරයාගේ කථාවෙන් පසුව ජනපතිවරයා විසින් අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාකාරී කරමින් ගැසට් පත්‍රයට අත්සන් කිරීම යනු, සැබවින්ම සංහිඳියාව වෙත ඉදිරි පියවර ගැනීම සිදුවන්නේ ජාත්‍යන්තර පීඩනය මත පමණක් බවට සාක්ෂියක් වන බව දක්වමිනි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලයක් ඉල්ලා සිටීමේ අවශ්‍යතාවය පිළිබඳව වූ හුසේන්ගේ නිරීක්ෂණය, දමිළ පුවත්පත් තුළ සැලකිය යුතු මට්ටමේ බරක් තැබීමට සමත්ව තිබිණි. එය සිරස්තල පුවත් ලෙසින් ප්‍රකාශයට පත්වූවා පමණක් නොව, සතිපතා දේශපාලන අතිරේකයන් තුළ වූ බොහෝ මත දැක්වීමේ ලිපි තුළ දක්නට ලැබුණු ප්‍රධාන තේමාවක් බවට පත්ව තිබිණි. සතිපතා වීරකේසරී තීරු ලිපියක් මගින් කොමසාරිස්වරයාගේ නිරීක්ෂණය අර්ථ දක්වා තිබුණේ, ‘තවදුරටත් ජාත්‍යන්තර මැදිහත්වීම් සහ රටේ යුද අපරාධකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ තුළ පැවරෙන අපරාධ නඩු සම්බන්ධයෙන් සුභාරංචිය ගෙන එන පණිවිඩකරුවකු’ ලෙසිනි.

යුද අපරාධ බෝම්බය එපා | කාටූනය සඳහා අනුග්‍රහය: වීරකේසරී -2017 සැප්තැම්බර් 11

විග්නේශ්වරන් සහ මල්වතු-අස්ගිරි මහනායක හිමිවරුන්

පසුගිය සතියේදී උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේශ්වරන් විසින් මල්වතු හා අස්ගිරි පාර්ශවයන්ගේ මහනාහිමිවරුන් මුණගැසී තිබිණි. මෙහිදී සිංහල මෙන්ම දමිළ පුවත්පත් යන දෙකොටසම මගින්, අකටයුතුකම් පිළිබඳ චෝදනා හා දුක්ගැනවිලි එකිනෙකා හා හුවමාරු කරගැනීමටත් එසේම සංවාදයක් ආරම්භ කිරීමටත් විග්නේශ්වරන් විසින් කළ මෙම මුල පිරීම සමාදරයෙන් අගය කොට තිබිණි. කෙසේ වුවත් නුවර අස්ගිරියේ පැවති දෙවැනි හමුවීම සම්බන්ධයෙන් දමිළ පුවත්පත් මගින් එතරම් ප්‍රිය නොඋපදවන සුළු නිගමන ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබිණි.

දමිළ පුවත්පත් මගින් වාර්තා කොට තිබුණේ, මල්වතු පාර්ශවයේ මහනාහිමි මෙන් නොව අස්ගිරිය මහනාහිමි විසින් මහ ඇමැති වරයා හා පුද්ගලික හමුවක් පැවැත්වීම ප්‍රතික්ෂේප කර තිබූ බවයි. එසේම එම වාර්තාවන්ට අනුව, පැමිණි එම දූත පිරිසට ආසන පනවා තිබුණේ මහනාහිමිවරුන්ගේ සහ පාර්ශවයේ කාරක සභික හිමිවරුන්ගේ ආසනයන්ට සාපේක්ෂව පහත් මට්ටමකිනි. තවදුරටත් හිමිවරුන් විසින් මෙම හමුවීම පුරාම ස්ථිරසාර ලෙසින් පවත්වාගෙන ගොස් තිබූ ස්ථාවරය වූයේ ෆෙඩරල්වාදය යනු බෙදුම්වාදය බවයි.

ෆෙඩරල් ක්‍රමය හා ආණ්ඩුව

දමිළ දේශපාලන ලියුම්කරුවන් විසින් මෙම මහ ඇමැති වරයාට පිරිනමන ලද හමුවීම සලකා තිබුණේ ජාතිභේදවාදයේ ප්‍රකාශනයක් ලෙසිනි. “ස්ථිරසාර සාමයක් සඳහා බෞද්ධ මහනාහිමිවරුන් තර්ජනයකි” යන සිරසින් යුතුව වීරකේසරී මගින් ප්‍රකාශයට පත් කළ ලිපියකින් කියා තිබුණේ, එක සමාන මට්ටමකින් ආසන පැනවීමක් හෝ නොකරන්නන්ගෙන් සමාන අයිතිවාසිකම් බලාපොරොත්තු වීම මුග්ධ සිතුවිල්ලක් බවයි. අනෙකුන් විසින් නිරීක්ෂණය කොට තිබූ කරුණ වූයේ, වර්තමාන සිංහල දේශපාලන නායකයන්ගේ කණ්ඩායමට ෆෙඩරල් ක්‍රමය සම්බන්ධ ගැටළුවේදී අස්ගිරිය මහනාහිමිවරුන්ගේ ආස්ථානයෙන් වෙනස් වීමේ සදාචාරාත්මක ධෛර්යය නොමැති බවයි.

සිංහල පුවත්පත් සියල්ලම පාහේ මෙම හමුවීම් ද්විත්වය වාර්තා කොට තිබුණේ ප්‍රවෘත්ති ලෙසින් පමණක් වූ අතර, කිසිදු ආකාරයක මත දැක්වීමක් එහිදී ලබාදී නොතිබුණි. ප්‍රකට දමිළ තීරු ලිපිකරුවකු විසින් සිංහල පුවත්පත් තුළ වූ යම් යම් කොටස් වෙත චෝදනා එල්ල කොට තිබුණේ, සිංහල ප්‍රජාව තුළ දමිළ දේශපාලන නායකයන්ගේ අභිලාශයන් පිළිබඳව පුළුල් කතිකාවතක් සඳහා මගහසර පෙන්වනු වෙනුවට, සිංහල පුවත්පත් ලියුම්කරුවන් විසින් මහ ඇමැතිවරයා සම්බන්ධයෙන් නිර්මාණය කරනු ලැබූ ‘උග්‍ර දමිළ ජාතිකවාදී ප්‍රතිරූපය’ වඩාත් තිරසාර කිරීම සඳහා මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙනි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top