තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන සමුළුවක් කොළඹදී

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන “ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රායෝගික භාවිතයන්” පිළිබඳ සමුළුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

එය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ද සහභාගීත්වයෙන් 2017 සැප්තැම්බර් 28 වන දින පෙ.ව. 9.30 ට කොළඹ 06, වෙරළ පාර, (Marine Drive) ග්ලෝබල් ටවර් (Global Tower) හෝටලයේදී පැවැත්වෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහිදී “තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සමාජගත කිරීමේ වැදගත්කම” පිළිබඳ දේශනයක්ද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ සාර්ථකත්වයේ පියසටහන් හා රාජ්‍ය ආයතනයන් මෙම පනත පිළිබඳ ලැබූ ප්‍රායෝගික අත්දැකීම්ද සාකච්ඡා කිරීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාතාංශයේ ලේකම් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍ය අධ්‍යක්ෂ කේ.පී ජයන්ත සදහන් කරයි.

තවද මෙහිදී තොරතුරු අයිතියෙහි ප්‍රායෝගික භාවිතයන් පිළිබද විවිධ පාර්ශවයන් ලද අත්දැකීම්ද බෙදා හදා ගැනීමටද අවස්ථාව ලබා දී ඇති බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

එම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග , අතිරේක ලේකම්වරුන් වන රමණි ගුණවර්ධන සහ තිලකා ජයසුන්දර , තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ ඇතුළු රජයේ උසස් නිලධාරීන් හා බස්නාහිර පළාතේ සියළු රාජ්‍ය ආයතනයන්හි තොරතුරු නිලධාරීන්ද සහභාගී වීමට නියමිතව තිබේ. 

Comments are closed.

Top