හිදැස: UN සමුළු, පළාත් සභා පනත් සංශෝධනය සහ රෝහින්ග්‍යා වරුන්

බලාත්කාරයෙන් අතුරුදහන් කරවීම් මගින් සියලුම පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීම සඳහා වූ පනත පිළිබඳව රට තුළ පවත්නා විවාදය දමිළ පුවත්පත් තුළ අවම අවධානයක් ලබාගෙන තිබූ අතර, ඒ වෙනුවට දමිළ පුවත්පත් අවධානය යොමුව තිබුණේ ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ  සැසිය සම්බන්ධයෙනි. මානව හිමිකම් මණ්ඩලයේ 36 වැනි සැසිවාරයේ න්‍යාය පත්‍රය තුළ ශ්‍රී ලංකාව විශේෂයෙන් ඇතුළත් නොවූ අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දමිළ කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතාවයන්ට සහ වෙනත් අතුරු අවස්ථාවන්ට ප්‍රධාන දිනපතා දමිළ පුවත්පත් මගින් දිනපතා ආවරණයක් ඔවුන්ගේ මුල් පි‍ටු තුළ ලබාදී තිබිණි. මීට සමාන ලෙසින් එක්සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්ඩල සැසිවාරය සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන සහභාගි වීමද මෙම සතියේ දමිළ පුවත්පත් වාර්තාකරණය තුළ විශේෂ ස්ථානයක් ලබාගෙන තිබිණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සයිටම් ආයතනයට විරුද්ධව සංවිධානය කරන්නට යෙදුණු එක් දින වැඩ වර්ජනය සිංහල මෙන්ම දමිළ පුවත්පත් තුළද සෘණාත්මක මාධ්‍ය ආවරණයක් ලබාගෙන තිබිණි. බොහෝ සිරස්තල මගින් වාර්තා කොට තිබුනේ, වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය මගින් රෝහල් අක්‍රිය තත්වයට පත් කොට තිබූ අතරම, රෝගීන්ද අපහසුතාවයන්ට පත්වූ බවයි.

කාටූනය සඳහා අනුග්‍රහය: තිනකුරල් – 2017 සැප්තැම්බර් 24

පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත

ව්‍යවස්ථාවේ යම් යම් වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය මෙන්ම ජනමත විචාරණයකින් අනුමැතියද අවශ්‍ය වන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වන 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවත්, එසේම එයින් පසුව පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධිත) පනත සම්මත කරගැනීමත් ද්විභාෂා පුවත්පත් සිරස්තල තුළ ප්‍රධාන තැනක් උසුලන්නට යෙදිණි.

මෙහිදී සිංහල මෙන්ම දමිළ යන භාෂා දෙකේම පුවත්පත් මගින් එකඟව තිබූ කරුණු වූයේ (අ) මෙම තීන්දුව මගින් අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය පෙන්නුම් කෙරෙන බවත්, එසේම (ආ) මෙම පනත පි‍ටුපස වූ ප්‍රධානතම අභිප්‍රාය වූයේ පළාත් සභා මැතිවරණ කල්දැමීම වූ බවත් ය.

කෙසේ වුවත් මෙම ගැටළුව සම්බන්ධයෙන් දමිළ පුවත්පත් මගින් කළ ප්‍රකාශයන්ගේ අවධානය යොමුව තිබුණේ සුළුතර පක්ෂ ක්‍රියාකාරීත්වය පිළිබඳ තක්සේරුවකට පැමිණීමත්, මෙම පනත සම්මත වීම තුළින් අනාගතයට ලබාගත හැකි ගුරුහරුකම් සම්බන්ධයෙනුත් ය.

මෙම පනතට ලබාදුන් සහාය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට විවේචනයන්ට මුහුණ දීමට සිදුවුණි. තිනකුරල් කතුවැකිය මගින් ප්‍රකාශ කොට සිටියේ, ඔවුන් විසින් කිසිදු කොන්දේසියකින් තොරව ලබාදුන් සම්පූර්ණ සහාය ‘ඓතිහාසික වැ‍රැද්දක්’ බවයි. මෙම විවේචනයේ ප්‍රධාන ධාරා දෙකක් පැන නැඟී තිබුණේ දෙමළ ජාතික සන්ධාන නායකත්වයට එරෙහිවය. මෙහිදී පළමු විවේචනය එල්ලවූයේ යෝජිත කොට්ඨාස ක්‍රමය (FPTP) සහ අනුපාත ක්‍රමය (PR)  අතර අනුපිළිවෙලින් 60:40 ලෙසින් බෙදීමේ නව ක්‍රමය වෙනස් කිරීමට බල කිරීමට තරම් දෙමළ ජාතික සන්ධාන නායකත්වය තුළ එක්සත් භාවයක් නොතිබීම සම්බන්ධයෙනි. දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නුවර එලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.තිලකරාජා තිනකුරල් වෙත සම්පූර්ණ පි‍ටුවක සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සඳහන් කොට සිටියේ, කොට්ඨාස ක්‍රමයට වැඩි ප්‍රමාණයක් හිමිවීම තුළින් පක්ෂයට වාසි අත්වනු ඇතැයි යන ආත්මාර්ථකාමී විශ්වාසයේ දෙමළ ජාතික සන්ධාන නායකත්වය සිටීම මෙයට හේතුව බවයි.

රාජපක්ෂ විරෝධය

දෙමළ ජාතික සන්ධානයට විරුද්ධව වූ දෙවැනි විවේචනය නැග ආවේ, දමිළ පුවත්පත් තුළ දෙමළ සිවිල් සමාජ සංවිධානය මගින් සහ සිංහල පුවත්පත් තුළ මහින්ද රාජපක්ෂ මගිනි. මෙම කොටස් දෙකම දෙමළ ජාතික සන්ධානය විසින් උක්ත පනතට ලබාදුන් සහයෝගය නිර්වචනය කොට තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමේ ක්‍රියාවක් ලෙසිනි. කෙසේ වුවත් දමිළ පුවත්පත් තුළ මෙය පුළුල්ව පැතිරගිය දෘෂ්ටියක් නොවුණු  අතර, වීරකේසරී මත පළ කිරීමේ ලිපියකින් උපුටා දක්වා තිබුණේ, පක්ෂයට තවත් මහමැතිවරණයක් පැවැත්වීමට පෙර නව ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විචාරණයකට යෑමට අවශ්‍යව ඇත්තේ, ඡන්දයෙන් නැවත පත්වුණු මහින්ද රාජපක්ෂ විසින් ව්‍යවස්ථා සංශෝධන ප්‍රගතිය ඉදිරියට යෑම කෙරෙහි අකුල් හෙලනු ඇතැයි යන බිය නිසා බවයි.

කෙසේ වුවත් දමිළ දිනපතා පුවත්පත් මෙයට විරුද්ධ ලෙසින් හඬ නඟා සිටියේ, සිංහල බහුතරය සිටිනා පළාත් තුළ වඩාත් ඉහළ සුළුතර නියෝජනයක් පවතින බව සහතික කරමින්, 60:40 බෙදීම 50:50 දක්වා වෙනස් කරගැනීම සඳහා අනෙකුත් සුළුතර පක්ෂ – විශේෂයෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය- තුළ ඇති එක්සත් භාවය පෙන්වා දෙමිනි.  දමිළ දේශපාලන ලියුම්කරුවන් විසින් කියා සිටිනු ලැබූයේ, නව ව්‍යවස්ථාව පිළිබඳව කේවල් කිරීමේ කටයුතු වලදී සුළුතර පක්ෂ අතර මෙවැනි සමගියක් පවත්වා ගැනිම ඉතාම වැදගත් වන බවයි.

රොහින්‍යා සරණාගතයන්: බෞද්ධ මුලධර්මවාදයද, ඉස්ලාම් අන්තවාදයද?

රොහින්‍යා සරණාගතයින් පිළිබඳ ගැටලුවේදී සිංහල සහ දමිළ පුවත්පත් එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රවේශ ‍තෝරාගෙන තිබූ බව දක්නට ලැබිණි. සිංහල පුවත්පත් මගින් මෙම ගැටළුව විශාල වශයෙන් ඉස්ලාම් අන්තවාදයේ ගැටළුවක් ලෙසින් නිර්වචනය කොට තිබූ අතර, දමිළ පුවත්පත් මගින් මෙම ගැටළුව රාමුකොට තිබුණේ බෞද්ධ මූලධර්මවාදයේ ප්‍රශ්නයක් ලෙසිනි. මීට සමාන ලෙසින් සිංහල පුවත්පත් මගින් රොහින්‍යාවරුන් ත්‍රස්තවාදීන් ලෙසින් චිත්‍රණය කොට තිබූ අතර, දමිළ පුවත්පත් මගින් ඔවුන් දැක තිබුණේ රාජ්‍ය අනුග්‍රහය සහිත ත්‍රස්තවාදයක වින්දිතයින් ලෙසිනි.

ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර සමානතාවයන් භාෂා දෙකේම පුවත්පත් තුළ ඉදිරිපත් කොට තිබිණි. සිංහල පුවත්පත් තුළ මෙම සමානතා දක්වා තිබුණේ, බෞද්ධයින් වින්දිතයන් වූ බව පෙන්වා දීම සඳහාය. දමිළ පුවත්පත් තුළ ඊට වෙනස් ආකාරයෙන් ඓතිහාසික සඳහන් කිරීම් හරහා මියන්මාරයේ විශාල වශයෙන් බෞද්ධ ආධිපත්‍යය ඇති රජයට සහ හමුදාවට එරෙහිව චෝදනා එල්ල කිරීම  සිදුව තිබිණි.

දමිළ දේශපාලන තීරු ලිපිකරුවන් විසින් ශ්‍රී ලංකාවේ බොදුබල සේනා සහ මියන්මාරයේ 969 ව්‍යාපාරය අතර සමානකම් පැහැදිලිවම දක්වන්නට කටයුතු කොට තිබුණි. එක් වීරකේසරී මත පළ කිරීමේ ලිපියක් මගින්, රොහින්‍යා කැරලිකාර කණ්ඩායම් මගින් සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ආරක්ෂක අංශ වල සාමාජිකයින් 12 දෙනෙකු මරු දැකීමෙන් පසුව පැන නැගී ඇති වර්තමාන රොහින්‍යා විරෝධී ප්‍රචණ්ඩත්වය සමගින්, ශ්‍රී ලංකාවේ 1983 දමිළ විරෝධී ව්‍යාපාරය සංසන්දනාත්මකව තබා නිරීක්ෂණය කොට තිබිණි.

දමිළ පුවත්පත් තුළ වූ මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර සමානකම් සෙවීම, බෞද්ධ ව්‍යාපාර මගින් ප්‍රචණ්ඩත්වය ඇති කිරීමේ අත්දැකීම් වලටද එහා ගොස් තිබිණි. මෙහිදී ජාත්‍යන්තර ප්‍රජාවට විවේචන එල්ල වී තිබුණේ, ශ්‍රී ලංකාවේ අත්දැකීම තුළින් කිසිවක් ඉගෙන නොගැනීම සම්බන්ධයෙනි. අනෙකුන් විසින් දමිළ සරණාගතයින් ගේ සහ බංග්ලාදේශයට පලා ගිය සිය දහස් ගණන් වූ රොහින්‍යා මුස්ලිම්වරුන්ගේ අත්දැකීම් සසඳා තිබිණි. කෙසේ වුවත් රොහින්‍යා සරණාගතයින් භාර නොගන්නා බවට ශ්‍රී ලංකා රජය විසින් දරනා ස්ථාවරය දමිළ පුවත්පත් තුළ ප්‍රශ්න කෙරී නොතිබුණු බවද කිව යුතුවේ.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top