අලුත් ව්‍යවස්ථාව ගැන මල්වතු, රාමඤ්ඤ මහනාහිමිවරුන් දෙපොලේ | VIDEO

ශ්‍රී ලංකාව සඳහා කෙටුම් පත් කරන්නට යන නව ව්‍යවස්ථාවට පක්ෂව හා විපක්ෂව සියම් නිකායේ මල්වතු පාර්ශවයේත්, රාමඤ්ඤ නිකායේත් මහනාහිමිවරුන් පරස්පර විරෝධී මත පල කර තිබේ.

නව ව්‍යවස්ථාවෙන් රටට අහිතකර කිසිවක් සිදු නොවන බවට මල්වතු පාර්ශවයේ මහනාහිමියන් විශ්වාසය පලකර දිනකට පසු නිවේදනයක් නිකුත් කරන රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව දැඩි කොට කියා ඇත්තේ ශ්‍රී ලංකාවට අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවයි.

මල්වතු පාර්ශවයේ තිබ්බොටුවාවේ සුමංගල මහනාහිමියන් බැහැ දැක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවක් පිළිගැන්වූ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රී වරයා ඉන් අනතුරුව අලුත් ව්‍යවස්ථාව රටටත් බෞද්ධයන්ටත් හානිකර බව ප්‍රකාශ කිරීමත් සමගම මහනාහිමියන් ඔහුට බාධා කරමින් එය ප්‍රතික්ෂේප කරනු දැකගන්නට හැකි විය.

“සම්බුද්ධ ශාසනයට හා ඒකීය රාජ්‍යයට හානි,” පැමිණෙන බව මහින්ද රාජපක්ෂ වාදී මන්ත්‍රී වරයා ප්‍රකාශ කරත්ම මහනාහිමියන් ඔහු නවතා ලූයේ “නෑ, නෑ, කියන්නේ එහෙම වෙන්නේ නෑ කියලනේ. ජනාධිපතිතුමන් පැහැදිලිව කිව්වනේ. අපිට ඒක විශ්වාස කරන්න පුළුවන්,” යනුවෙන් පවසමිනි.

මෙහෙයුම් කමිටුවේ තමන්ද සිටි බව පිළිගත් මඑපෙ නායකයාගෙන් මහනාහිමියන් විමසා සිටියේ රාජ්‍යයේ ඒකීය භාවය රැකෙන බවත්,  බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දී ඇති බවත් නොපිළිගන්නේද යන්නයි.

එය පිළිගන්නා බව ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේය.

බොරු කියන අය

“වැඩිපුරම බොරු කියන අය තමයි ඉන්නේ,” යනුවෙන් ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් දේශපාලකයන් හෙලා දුටු මහනාහිමියන් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියේ විරුද්ධ නොවී අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කර අලුත් ව්‍යවස්ථාව අනුමත කිරීමට සහාය වන  ලෙසයි.

මහනාහිමි අනුශාසනාව පරිදි “හොඳ දෙයක් නිර්මාණය කර ගත යුතු,” බවට උන්වහන්සේ හමුවේ එකඟතාව පල කළ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඉන් අනතුරුව රාමඤ්ඤ නිකායේ නාපානේ පේමසිරි මහනාහිමියන් බැහැ දැක පවසා සිටියේ රටට අහිතකර කිසිවක් ඇතුලු නොකරන බවට නව ව්‍යවස්ථාවට පක්ෂ පිරිස් කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

ඊට පසුදා දැඩි ප්‍රකාශයක් කරන ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට එරෙහිව බලවත් විරෝධය පල කොට තිබුනි.

සංඝ විරෝධී කුමන්ත්‍රණයක්

“මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කිසිදු වග විභාගයකින් තොරව පාර්ලිමේන්තුවකට ඉදිරිපත් නොකොටම බැහැර කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටියදී එය නොසළකා හැරීම,” සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් නිකාය කාරක සංඝ සභාව විරෝධය පළකර සිටියි.

දිවි ගලවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයන් ට එරෙහි ප්‍රචණ්ඩ ප්‍රහාරයක් මෙහෙයවීමේ චෝදනාවට අක්මීමන දයාරත්න හිමි රිමාන්ඩ් භාරයට පත් කිරීමද හෙලා දකින රාමඤ්ඤ නිකාය එය හඳුන්වා තිබුනේ “වත්මන් පාලකයන් සිය අරමුණු ඉටු කරගත නොහැකි අවස්ථාවේ දී මහා සංඝරත්නය සිරගත කොට උන්වහන්සේ හට නින්දා අපහාස කොට සමාජය තුල අපහාසයට ලක් කිරීමක්” ලෙසයි

“මේ තුළින් මහා සංඝරත්නයේ උරුමය හා බලය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි අපට පෙනී යන්නේ,” යි යනුවෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව බිය පල කරයි. 

Related posts

Comments are closed.

Top