“සිංහලයා මුලා කිරීම පාප කර්මයක්!” සම්බන්ධන් ජී එල් ට කියයි

යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිංහලයන් මුලාවේ දැමීම පාපයක් බව රාජපක්ෂ වාදී විපක්ෂයේ නායකයකු වන මහාචාර්ය ජී එල් පීරිස්ට සෘජුවම පවසා ඇති විපක්ෂ නායකයා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට දායක වන ලෙස ඉල්ලා තිබේ.

ව්‍යවස්ථා විශාරද මහාචාර්යවරයාගෙන් දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් මෙම ඉල්ලීම කර ඇත්තේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ පාර්ලිමේන්තු කතානායිකා ආචාර්ය ෂිරීන් ශාර්මින් චෞදුරි වෙනුවෙන් බංග්ලාදේශ තානාපති නිල නිවසේ පවත්වන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකදීය.

“ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අහිංසක සිංහල ජනතාව මුලාවේ හෙලීම පාප කර්මයක් බව සම්බන්ධන් මහතා මහාචාර්ය ජී එල් පීරිස් ට කියා සිටියේය,” යි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ඡායාරූපයක්ද රැගත් ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශයට පත් කර තිබුනි.

එජාපයට ‘ස්ථාවරයක් නෑ’

ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කොට ඇති අතුරු වාර්තාව සංගත නොවන අතර එහි එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයක් දක්වා නැතැයි කියා ඇති මහාචාර්ය පීරිස් තෝරාගැනීම සඳහා වරණයන් කිහිපයක් තිබීම අඩුපාඩුවක් ලෙස පෙන්වා දී තිබේ.

විපක්ෂ නායකයා පවසා ඇත්තේ ප්‍රධාන කාරණා පිළිබඳ පොදු අවබෝධයකින් යුතුව විවිධ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන ලද අදහස් අඩංගු වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය බවයි.

විවාදයෙන් අනතුරුව කෙටුම්පත් කෙරෙන ව්‍යවස්ථාව රටේ නීතිය බවට පත්වනුයේ කැබිනට්ටුවේත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකත්, ජනමත විචාරණයකත් සම්මතයෙන් අනතුරුව බව ඔහු මහාචාර්යවරයාට වැඩිදුරටත් පහදා දී තිබේ.

විපක්ෂ නායකයා මහාචාර්ය වරයාගේත්, ඒකාබද්ධ විපක්ෂයේත් සහාය ඉල්ලා සිටි බව තවත් ට්විටර් පණිවිඩයක් මගින් පවසන ආචාර්ය හර්ෂ ද සිල්වා  කියා තිබුනේ යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධ සාකච්ඡාව “අතිශයින් සුන්දර සහ සුහද” එකක් වූ බවයි.

අතීතයේ “ඉතා ප්‍රගතිශීලී” අයකු ලෙසින් හිටපු අමාත්‍ය ජී එල් පීරිස් හඳුන්වා දී ඇති විපක්ෂ නායක සම්බන්ධන්, කාරුණිකව ඉල්ලා ඇත්තේ “සියලුදෙනා  සිහි එලවා ගනිමින් ඉන්නා යුගයක” පැරණි ස්ථාවරය වෙනස් නොකරන ලෙසයි.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ද සාකච්ඡාව අසා සිටි බව ආචාර්ය ද සිල්වා වැඩිදුරටත් පවසා තිබේ. 

Related posts

Comments are closed.

Top