එක්සත් ජාතීන්ගේ ඉහලම යුද අපරාධ විශේෂඥයා නැවතත් ශ්‍රී ලංකාවේ

යුද අපරාධ සහ බරපතල මානව හිමිකම් කෙලෙසීම සම්බන්ධයෙන් යුක්තිය සලසා දීම සඳහා ශ්‍රී ලංකාවේ රජය දුන් පොරොන්දු ඉටු කිරීමේදී අත් කරගෙන ඇති ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ නිලධාරියෙක් දෙසතියක නිල සංචාරයක් සඳහා දිවයිනට ළඟාවෙයි.

සංක්‍රාන්ති යුක්තිය සඳහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රධාන නිලධාරියා වන පැබ්ලෝ ඩි ග්‍රීෆ්  2017 ඔක්තෝබර් මස 10 සිට 23 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුම් දී තිබේ.

සත්‍යය, යුක්තිය, හානිපූරණය හා පුනරාවර්තනය වැලැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කරන ලද පළමු විශේෂ නියෝජිතයා වන පැබ්ලෝ ඩි ග්‍රීෆ්  නිල විමර්ශනයක් සඳහා දෑවුරුද්දක් තුලදී ශ්‍රී ලංකාවට පැමිණෙන දෙවැනි වතාව මෙයයි.

වසර 25 කටත් වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ ප්‍රතිපලයක් වශයෙන් සිදුවී ඇති බරපතල උල්ලංඝනයවීම් හා අපයෝජනයන්ද ඇතුළුව අතීතයේ සිදුවී ඇති විශාල ප්‍රමාණයේ අපයෝජනයන් හා උල්ලංඝනයන් ආමන්ත්‍රණය කිරීමේදී ශ්‍රී ලංකාව ලඟා කරගෙන ඇති ප්‍රගතිය පරීක්ෂා කිරීම ඩි  ග්‍රීෆ් ගේ චාරිකාවේ අරමුණ බව  කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසයි.

ආණ්ඩුවේ පොරොන්දුව

අංග සම්පූර්ණ සංක්‍රාන්ති යුක්ති සැලැස්මක් පිළියෙල කර ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකාවේ රජය 2015 වසරේදී  පොරොන්දුවක් ලබාදී ඇත.

“සංක්‍රාන්ති යුක්තිය හා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී මුහුණපෑමට සිදුවන බාධක හා දුෂ්කරතා හඳුනා ගැනීමේදී ශ්‍රී ලංකාව අද වනතෙක් ලඟා කරගෙන තිඛෙන ප්‍රගතිය සමාලෝචනය කිරීමත්, මෙම බාධක ජය ගැනීම සඳහාවූ ඉඩ ප්‍රස්තා පිළිබඳව රජය හා ශ්‍රී ලංකාවේ සමාජය සමඟ සංවාදයක යෙදීමත් මගේ චාරිකාවේ අරමුණ වේ,” යැයි විශේෂ නියෝජිත ඩි  ග්‍රීෆ් පවසයි.

මානව හිමිකම් උල්ලංඝන වර්තමාන පාලනය යටතේත් සිදුවන බව 2015 ශ්‍රී ලංකාවේ සංචාරයෙන් අනතුරුව එක්සත් ජාතීන්ට වාර්තා කළ ඔහු රටේ නීති පද්ධතියත්, යුද හමුදාව, පොලිසිය හා ඔත්තු සේවා ඇතුළු ආරක්ෂක අංශත් බරපතල ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු බව දැඩිව අවධාරණය කර තිබුනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයා මෙවර නිල චාරිකාවේදී මධ්‍යම රජය හා පළාත් සභා මට්ටමේ රාජ්‍ය නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධිකරණ බලධාරීන්, සන්නද්ධ හමුදා නිලධාරීන්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ ආගමික නායකයන් ද  දේශපාලන පක්ෂ, මානව හිමිකම් කොමිසම, සිවිල්  සමාජය, වින්දිතයන්ගේ කණ්ඩායම්, විද්වතුන් හා ජාත්‍යන්තර ප්‍රජාවේ නියෝජිතවරුන්ද හමුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

පැබ්ලෝ ඩි ග්‍රීෆ් ගේ දෙසති ශ්‍රී ලංකා චාරිකාව පිළිබඳ අවසන්  වාර්තාව 2018 සැප්තැම්බරයේ ජගත් මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය. 

Related posts

Comments are closed.

Top