පකිස්ථානය පැරදු ශ්‍රී ලංකාව ටෙස්ට් පියවරක් ඉදිරියට

පාකිස්තානය සමග ඩුබායි හි පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ ලකුණු 68ක විශිෂ්ඨ ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර මෙම ජයත් සමඟම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සල ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ හත්වන ස්ථානයේ සිට හය වන ස්ථානය දක්වා ඉහලට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

ශ්‍රිලංකාවේ ජයග්‍රහණ වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ දිල්රුවන් පෙරේරා ලකුණු 98කට කඩුලු 5ක් දවා ගත්තේය.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 482ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තානය සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 262ක් රැස් කළේය.

දෙවැනි ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 96 කට සීමා කළ පකිස්තානුවන් ජයග්‍රහණය සඳහා ලකුණු 317ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසියත් ඔවුනට රැස් කරගැනීමට හැකි වූවේ ලකුණු 248ක් පමණි.

තරගයේ සහ තරගාවලියේ වීරයා ලෙසින් දිමුත් කරුණාරත්න සුදුසුකම් ලැබීය.

ඒ අනුව තරග දෙකකින් යුත් දෙරට අතර ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර එක්සත් අරාබි රාජ්‍යයේදී පාකිස්ථානය ට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළ එකම කණ්ඩායම ලෙස ඉතිහාසයට එක්වීමට ශ්‍රී ලංකාවට හැකි විය. 

Related posts

Comments are closed.

Top