විරෝධතාකරුට බැට දුන් පොලිස් නිලධාරියාට එරෙහිව පරීක්ෂණ

මත්තල ගුවන් තොටුපල සහ හම්බන්තොට වරාය ඉන්දියාවට විකුණන බවට චෝදනා කරමින් ඊට විරෝධය පා සංවිධානය කළ උද්ඝෝෂණයට දායක වූ ක්‍රියාකාරිකයකුට පහර දීම සම්බන්ධයෙන් ඉහලම පොලිස් නිලධාරියකු පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

ගාල්ල බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් විසින් පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි දළුවත්තට එරෙහිව පරීක්ෂණය සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටී.

හම්බන්තොට විරෝධතාවය අතරතුර කලහකාරී ලෙස හැසුරුනු පුද්ගලයන් හට පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී අත්අඩංගුවට ගන්නා ලද අයකුට උසස් පොලිස් නිලධාරියකු පහර දෙන දර්ශන මාධ්‍ය මඟින් ප්‍රචාරය කර තිබුණි.

සහාකාර පොලිස් අධිකාරි දළුවත්තට එරෙහි පරික්ෂණයෙහි අවසන් වාර්තාව පොලිස්පති හට බාර දෙන බවයි මාධ්‍ය ප්‍රකාශකයා වැඩි දුරටත් පවසන්නේ.

මේ අතර විරෝධතාව සංවිධානය කළ නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක සහ ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 අඟහරුවාදා හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඔක්තෝබර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. 

Comments are closed.

Top