අම්පාරේ සිසු සමුලඝාතනයේ පහළොස් වැනි වසර සැමරේ | VIDEO

 

ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ හමුදා විසින් වෙඩි තබා සමූලඝාතනය කොට දශක එකහමාරක් ගතවීත් යුක්තිය ඉටු නොවූ සිසුන් පිරිසක් අම්පාරේ දී අනුස්මරණය කර තිබේ.

 

ශ්‍රී ලංකාවේ රජය සහ එල්ටීටීඊ සංවිධානය අතර සටන් විරාමයක් පැවති සමයේ අම්පාර කාංචිරන්කුඩා කඳවුර ඉදිරිපිට විරෝධතාවක යෙදුනු උද්ඝෝෂකයන්ට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වෙඩි තැබීමෙන් සිසුන් ඇතුළු තරුණයන් හත් දෙනකු මියගිය දිනට පහළොස් වසරක් පිරෙන දිනයේ තිරුක්කෝවිල් මානික්ක පිල්ලෙයාර් කෝවිල අබියස ඉදිකර ඇති ස්මාරක ඉදිරිපිටට රැස්වූ ඝාතනයට ලක්වූ සිසුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිස පුෂ්පදීප උපහාරයක් පැවැත්වූ බව ගගන වාර්තාකරු පවසයි.

 

ඉදයරාසා ජෙයප්‍රකාශ්, අරසරත්නම් සෙල්වකුමාර්, නල්ලයියා කුමාරකුලසිංහම්, මනෝහරන් සත්‍යනාදන්, මහේන්ද්‍රමුර්ති සතීෂ්කුමාර්, නාගරාසා ශෂීකුමාර් සහ ජීවන් කන්නන් 2002 ඔක්තෝබර් මස 9 දා විශේෂ කාර්ය බලකාය (STF) විසින් වෙඩි තැබීමෙන්  ජීවිතක්ෂයට පත් වූහ.

 

රජයේ පාලන ප්‍රදේශය තුල ට්‍රැක්ටරයක ගමන් කරමින් සිටි එල්ටීටීඊ පොතුවිල් දේශපාලන අංශයේ නායක එම් විශ්වනාදන් සහ ක්‍රිස්ටි රාජා දෙදෙනාට කංජිරන්කුඩා STF කඳවුරේ භටයන් බරපතල ලෙස පහරදීම හෙලා දකිමින්  දහසක් පමණ ප්‍රදේශවාසීන් පැවැත්වූ උද්ඝෝෂණයකට ඒ හත් දෙනාද එක්වී සිටියහ.

 

එල්ටීටීඊ චෝදනා

 

රජයේ ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ කඳවුරට පහර දීමට ආ එල්ටීටීඊ සෙබල පිරිසකට වෙඩි තැබූ බවයි.

 

කඳවුරේ ප්‍රධානියා සටන් විරාම නිරීක්ෂණ කමිටුවට පවසා තිබුනේ එල්ටීටීඊ යේ රූෆස් කුලම් කඳවුරේ භට පිරිසක් කංජිරන්කුඩා කඳවුරට පහර දීමට ආ බවයි.

 

ඒ බව තහවුරු කිරීමට කිසිදු සාධකයක් නොතිබුනු බව කඳවුරට ගොස් පරීක්ෂණයක් පැවැත්වූ සටන් විරාම නිරීක්ෂණ කමිටුව පසුදාම නිකුත් කළ වාර්තාවක දැක්විනි.

 

රජය විසින් සිද්ධිය විභාග කිරීමට පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව එයින් මසකට පසු නිකුත් කරන ලද වාර්තාවකින් STF ප්‍රහාරය යුක්ති සහගත කර තිබුනි.

 

හිටපු ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් හැරී ගුණතිලක සභාපතිත්වය දැරූ කමිටුවේ සෙසු සාමාජිකයන් වුයේ හිටපු විනිසුරු ඔලිවර් වීරසේන සහ තිරුක්කෝවිල් ප්‍රදේශවාසී සාමිතම්බි විවේකානන්දන් ය.

 

කංජිරන්කුඩා කඳවුරේ අණදෙන නිලධාරී එරික් පෙරේරා ඇතුළු දාහතර දෙනකු මාරු කර යවන ලෙස කමිටුව නිර්දේශ කර තිබුනි.

ඒකපාර්ශවික වාර්තාවක්

 

වෙඩි තැබූ කිසිවකුට දඬුවම් නියම කිරීමක් හෝ තිරුකෝවිල් රෝහල් භූමියේ පිහිටි STF කඳවුර ඉවත් කිරීමක් හෝ නිර්දේශ නොකරන වාර්තාව සභාපතිවරයා ඒක පාර්ශවිකව සකස් කළ බවට චෝදනා කරමින් සාමිතම්බි විවේකානන්දන් තම විරෝධය පලකරන පිටු හතක සංදේශයක් කමිටුව පත් කළ ස්වදේශ කටයුතු භාර අමාත්‍ය ජෝන් අමරතුංගට භාර දී තිබුනි.

 

හැරී ගුණතිලක කමිටු වාර්තාව ඒකපාර්ශවික බවට පාර්ලිමේන්තුවේදී දැඩි විවේචනයට ලක් කළ අම්පාර දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අරියනාගම් චන්ද්‍රනේරුද තිරුක්කෝවිල් සමරුවේදී අනුස්මරණය කොට ඇත.

 

පොළොන්නරුවේ සිට තිරුක්කෝවිල් දක්වා 2005 පෙබරවාරි 7 දා රාත්‍රියේ ගමන් කරමින් සිටි වාහනය නැවැත්වූ හමුදා නිල ඇඳුමින් සිටි පිරිසක් වෙඩි තැබීමෙන් හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පස් දෙනකු මරුමුවට පත්විය.

 

ඔහු සමග වාහනයේ සිටි එල්ටීටීඊ මඩකලපු අම්පාර දේශපාලන නායක ඊ කෞෂල්‍යන් ඇතුළු නිදිමාරන්, විනෝදන්, කමලන් හා කුමනන් යන සිව් දෙනා වාහනයෙන් බස්සවා වෙඩි තැබීම සිදුකර තිබුනි.

 

නාමල්ගම හමුදා කඳවුර අසල පිල්ලෙයාර්අඩි හිදී සටන් විරාම ගිවිසුම බලපැවැත්වූ සමයේ සිදුකරන ලද මෙම ඝාතන සම්බන්ධ වගකීම විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා ගේ නායකත්වයෙන් යුත් ටීඑම්වීපී සන්නද්ධ අතුරු හමුදාව විසින් භාරගන්නා ලදී.

 

ජාත්‍යන්තර දෙමළ ශිෂ්‍ය බල මණ්ඩලය විසින් තිරුක්කෝවිල් උපහාර අනුස්මරණය සංවිධානය කර තිබු බවයි ගගන වාර්තාකරු පවසන්නේ. 

Related posts

Comments are closed.

Top