ලිට්රෝ ගෑස් ලොක්කා වහාම අස් කරන ලෙස නියෝගයක්

 

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරන ලද  එන්. එම්. ශලීල  මුණසිංහ ලිට්රෝ ගෑස් සමාගමේ  විධායක සභාපතිවරයා ලෙස දැරූ බලතල සියල්ල අත්හිටුවීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය නියෝග කර තිබේ.

අමාත්‍යංශ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ  ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති හේමක අමරසුරිය වෙත ඒ බව  දන්වා ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය මාධ්‍ය ලේකම් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ලේකම්වරයා මෙලෙස කටයුතු කර තිබෙන්නේ ලිට්රෝ ගෑස් සමාගම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට අයත් ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව මගින් පරිපාලනය වන සමාගමක් වන බැවිනැ’යි එහි සඳහන් වේ.

තායිවානයේ ෆා ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ  ගිණුම්වලට නීත්‍යානුකූල නොවන අන්දමට ඇතුළු වී ඩොලර් මිලියන හැටකට අධික මුදලක්‌ හොරා ගැනීම සම්බන්ධයෙන් ලිට්‌රෝ ගෑස්‌ සමාගමේ සභාපති ශලීල මුණසිංහ සහ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුගේ පුත්‍රයකු‌ වන එම්. සී.නම්මුණි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.

අමාත්‍යංශ සහාය

“මෙම මුදල් ලබා ගැනීම සිදු වී ඇත්තේ ලංකා බැංකුවට අයත් ගිණුමකින් බැවින්, ලිට්රෝ සමාගම සම්බන්ධයෙන් මෙන්ම, ලංකා බැංකුව සම්බන්ධයෙන්ද සිදුවන සියළුම නීතිමය කටයුතු සදහා අමාත්‍යංශයේ සියළු සහයෝගය ලබා දෙන ලෙස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් ලේකම්වරයාට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති අතර අමාත්‍යංශ මට්ටමෙන්ද මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කරන ලෙස ද අමාත්‍යවරයා ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇතැ,” යි මාධ්‍ය ලේකම් නිශ්. මං. රණසිංහ ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

දින 100 ආණ්ඩුව

ලිට්රෝ සමාගම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතට පත් වන විටත් ශලීල  මුණසිංහ එහි සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි අතර ඔහු ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ හවුල් ආණ්ඩුව පාලන බලයට පත්වීමට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පැවති  දින 100 ආණ්ඩුව යටතේ බව මාධ්‍ය ලේකම්වරයා පැහැදිලි කරයි. 

Related posts

Comments are closed.

Top