පලස්තීන හමාස්, ෆටා සංවිධාන ගැටුම්වලට තිත

 

දශකයක් පුරා පැවති කෝන්තර නිමා කරමින් සිය ප්‍රතිවාදී ෆටා සංවිධානය සමඟ ගිවිසුමකට එළැඹි බව පලස්තීන හමාස් කණ්ඩායම පවසා තිබේ.

ගාසා තිරය පාලනය කරන හමාස් සංවිධානය පවසන්නේ එකඟතාවය සම්බන්ධ තොරතුරු 12 බ්‍රහස්පතින්දා නිකුත් කරන බවයි.

කෙසේ වෙතත් ෆටා කණ්ඩායම මේ පිළිබඳව අදහස් දක්වා නැත.

කයිරෝවේ පැවැත්වෙන සංහිඳියා කතාබහ සඳහා ඊජිප්තුව මැදිහත්ව ක්‍රියා කරයි.

2007 දී සංවිධාන දෙක අතර දරුණු සටන් ඇවිලුණු අවස්ථාවේ පටන් ගාසා තිරයේ සහ බටහිර ඉවුර වෙන වෙනම පාලනය විය.

ගිවිසුම පිළිබඳ වැඩිදුර විස්තර කයිරෝවේ දී සිදු කෙරෙන ප්‍රවෘත්ති හමුවේදී අනාවරණය කරනු ඇති බව හමාස් හිතවාදී තොරතුරු මධ්‍යස්ථානය විසින් දැනුම් දී තිබේ.

ඊජිප්තුවේ පැවැත්වෙන සාකච්ඡා “බරපතල සහ ගැඹුරු” ඒවා බව හමාස් ප්‍රකාශක සාමි අබු සූරී 11 බදාදා පවසා තිබුණි.

“සාකච්ඡා සුබවාදීයි ඒවගේම ඊජිප්තු මැදිහත්වීම පවා උපකාරියි,” යනුවෙන් ඔහු පවසා ඇත.

ගාසා තිරය පාලනය කරන නියෝජිත පිරිස විසුරුවා හැරීමට පසුගිය මසදී හමාස්වරු එකඟතාවය පල කර තිබුණි

ෆටා ආධිපත්‍ය දරන බටහිර ඉවුරේ සමහර  ප්‍රදේශවල පාලන අධිකාරිය  හොබවන පලස්තීන ජනපති මහමුද් අබ්බාස්ගේ ඉල්ලීමක් පරිදි මෙම පියවර ගෙන ඇත.

පලස්තීන අගමැති රාමි හමදල්ලා ඉන්පසු ගාසා තිරයෙහි සංචාරයක නිරතව තිබුණි. එය ඉතා දුර්ලභ සිදුවීමකි.

ගාසාවේ පරිපාලන කටයුතු සහ “ආරක්ෂක වගකීම්” තමන් විසින් බාර ගන්නා බව ඔහු ප්‍රකාශ කර තිබුනි.

සමස්ත හමාස් සංවිධානය නැතහොත් සමහර අවස්ථාවලදී ඔවුන්ගේ හමුදාව ත්‍රස්ත සංවිධානයක් ලෙස ඊශ්‍රායලය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපා සංගමය සහ අනෙකුත් බලවතුන් විසින් තහනම් කර තිබේ.

Related posts

Comments are closed.

Top