එක්සත් ජාතීන්ගේ නියෝජිත ඩි ග්‍රීෆ් යුද පීඩිතයන් මුණ ගැසේ | VIDEO

ආණ්ඩුවේ ආරාධනයෙන් දිවයිනට පැමිණ සිටින යුද අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂඥයා ශ්‍රී ලංකාවේ දෙසති නිල සංචාරයක් ආරම්භ කරමින් උතුරේ යුද්ධයෙන් මියගිය වුවන් සිහිකිරීමට ආරක්ෂක අංශයේ බාධා මැද  වන්නියේ ඉදි කෙරෙමින් පවතින සමාධියක් නැරඹීමටත්, විරෝධතාවයේ නිරත අතුරුදහන් වුවන්ගේ ඥාතීන් හමුවීමටත් ගොස් තිබේ.

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ද ග්‍රීෆ් යුද්ධයේ අවසාන භාගයේදී ඝාතනය වුවන් සිය ගණනක නම් කෙටූ ශිලා පුවරු ස්ථාපනය කර ඇති ස්මාරකයක් වෙත 12 බ්‍රහස්පතින්දා ගොස් ඇත.

යුද්ධාවසානයේ මරා දැමුනු පන්සියයක නම් කෙටූ ශිලා පුවරු මුල්ලිවයික්කාලේ කතෝලික දේවස්ථානයකට යාබද භුමියක තැන්පත් කිරීමට එරෙහිව මේ වසරේ මැයි මාසයේ අධිකරණ නියෝගයක් ලබාගත් පොලිසිය සමරු සංවිධායකයන් වව්නියාවට කැඳවා ප්‍රශ්න කර තිබු අතර ඔවුන්ගේ නිවාස සෝදිසියට ලක් කර තිබුණි.

සමාධිය ස්ථාපනය කිරීමට මුලිකත්වය ගත් එලිල් රාජේන්ද්‍රම් පියතුමා හමුවී ශ්‍රී ලංකා රජයෙන් සමරුවට බාධා පැමිණවීම  මෙන්ම එහි සංවිධායකයන්ට දිගින් දිගටම සිදුවන අඩන්තේට්ටම් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ නියෝජිතයා තොරතුරු රැස්කරගත් බව ගගන වාර්තාකරු පවසයි.

ආරක්ෂක හමුදා සහ පොලිස් ඔත්තු සේවා උතුරේ මානව හිමිකම් ක්‍රියාධාරීන්ට අඩන්තේට්ටම් කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ පිළිගෙන ඇත.

“මානව හිමිකම්  ක්‍රියාධරයන්ගේ අයිතිවාසිකම් පිළිගෙන, සහතික කරන්නාවූ ප්‍රතිපත්ති සහ ක්‍රියාපිළිවෙත් මගින් රාජ්‍ය ආරක්ෂක අංශ වලින් සහ නීතිය ක්‍රියාවේ යොදවන නිලධාරීන්ගේ කිසිදු ඔත්තු බැලීමකින්, අඩන්තේට්ටමකින් හෝ හිරිහැරයකින් තොරව සිවිල් සමාජ හා මානව හිමිකම්  ආරක්ෂකයන්ට කටයුතු කිරීමේ ඉඩකඩ ආණ්ඩුව විසින් සහතික කර දිය යුතුය,” යි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධ සර්ව වාරික විමර්ශනයට ලබා දී ඇති අලුත්ම වාර්තාවේ සඳහන් වේ.

අතුරුදහන් වූවන්

අතුරුදහන්වු තම ආදරණියන් සොයා දෙන ලෙස බල කරමින් අට මාසයකට ආසන්න වැඩි කාලයක් සත්‍යග්‍රහයේ නිරත ව සිටින දෙමළ ඥාතීන් හමුවීමටද පැබ්ලෝ ද ග්‍රීෆ් ගොස් තිබේ.

කෙසේ වෙතත්,  යුද අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂඥයා දෙන උපදෙස් හෝ නිර්දේශ ක්‍රියාවේ යෙදවීමට බැඳී නැති බවට ඔහු පැමිණි දිනයේම රජය විසින් නිවේදනය කරන ලදී.

සත්‍යය, යුක්තිය, හානිපූරණය හා පුනරාවර්තනය වැලැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ද ග්‍රීෆ් ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනය කරන ලද්දේ “අදහස් සහ විශේෂඥ උපදෙස් ලබාගැනීම සඳහා බව” විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ කියා තිබුණි.

විසිපස් අවුරුද්දකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ ප්‍රතිපලයක් වශයෙන් සිදුවී ඇති බරපතල උල්ලංඝනයවීම් හා අපයෝජනයන්ද ඇතුළුව අතීතයේ සිදුවී ඇති විශාල ප්‍රමාණයේ අපයෝජන හා උල්ලංඝන ආමන්ත්‍රණය කිරීමේදී ශ්‍රී ලංකාව ලඟා කරගෙන ඇති ප්‍රගතිය පරීක්ෂා කිරීම විශේෂ නියෝජිත ඩි ග්‍රීෆ් ගේ චාරිකාවේ අරමුණ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේය. 

Related posts

Comments are closed.

Top