අභ්‍යන්තර රහස්‌ තොරතුරු ලබාගන්න පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ අල්ලස් දුන් බව හෙළිවෙයි

ප්‍රශ්නගත බැඳුම්කර හනුදෙනුව හා සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට අභ්‍යන්තර රහස්‌ තොරතුරු ලබා දෙනු ලැබූ පුද්ගලයන් වෙත  විශාල මුදල් අල්ලස් ලබා දී ඇති බව බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ දී හෙළි වී තිබේ.

මෙම අල්ලස් ලබාදීම අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිව සිටි 2104 වසරේ සිට වරින් වර අවස්‌ථා 18 කදී සිදුකර කර ඇති බව කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු නුවන් සල්ගාදු පැවසීය.

ජනාධිපති බැඳුම්කර කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නුවන් සල්ගාදු මේ බව ප්‍රකාශ කළේය.

චාලි, කාර් සහ ටැන්ගෝ යන අන්වර්ථ නාමයන්ගෙන් එම ගෙවීම් සිදුකළ බවත් එම ගෙවීම්වලට අදාළ පරිගණක ලිපිගොනු සැකසීම තමන් විසින් කළ බවත් චාලි නමින් හඳුන්වන තැනැත්තක් වෙත විශාල ගෙවීම් සිදුකර ඇති බවද සල්ගාදු මෙහිදී වැඩිදුරටත් හෙළි කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ සිටින ගෙවීම් ලබන පුද්ගලයා හැඳින්වූයේ “චාලි” යන නමින් බවද 2015 සැප්තැම්බර් මාසය දක්‌වා මෙසේ “චාලි ලෙස හැඳින්වූයේ සේවක අර්ථසාධක අරමුදලේ උදසීලන් බවත් ඉන් පසු “චාලි” ලෙස හැඳින්වූයේ අර්ථසාධක අරමුදලේ සිටි ඉන්දික සමන් කුමාර බවත් කොමිසම හමුවේ නුවන් සල්ගාදු හෙළි කළේය.

එසේම “කාර්” සහ “ටැන්ගෝ” ලෙස හැඳින්වූයේ කව්දැයි තමා නොදන්නා බවත් තමා කළේ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේනගේ උපදෙස්‌ මත එම ලේඛන නඩත්තු කිරීම පමණක්‌ බවත් සල්ගාදු කොමිසමට සාක්‍ෂි දෙමින් කීවේය. 

Related posts

Comments are closed.

Top