තායිවාන බැංකුවෙන් මෙරටට පැමිණි මුදල් සොයා ගැනේ

තායිවානයේ ෆාඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවෙ ගිණුම්වලට නීත්‍යානුකූල නොවන අන්දමට ඇතුළු වී ඩොලර් මිලියන හැටකට අධික මුදලක්‌ ලබාගැනීමේ සිද්ධියට සම්බන්ධ ව ශ්‍රී ලංකාවට යවනු ලැබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.3 සොයා ගැනීමට හැකි වුන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් සහ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ඇති ශ්‍රී ලංකා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලිල මුණසිංහ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කර ඇත. අත්අඩංගුවට ගත් එක්‌ අයෙක්‌ හිටපු හමුදා මාණ්‌ඩලික ප්‍රධානියකුගේ පුත්‍රයා වන අතර ඔහුගේ වත්කම් පිළිබඳව මෙරට අපරාධ විමර්ශන බලධාරීන් විමර්ශනය කරන බව ආරංචි මාර්ග දක්‌වයි.

එසේම මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකෙරෙන ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් ඇති අතර ඔවුන්ද අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර මෙහෙයුමක් ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව, කාම්බෝජය සහ ඇමරිකාව යන රටවලට යෑවූ ප්‍රධාන සැකකරු අල්ලාගැනීම සඳහා තායිවාන් රජය ඉන්ටර්පෝල් පොලිසියේ සහාය පතා ඇති අතර මෙම ප්‍රධාන සැකකරු සහ ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන ඇති දෙදෙනා අතර සබඳකම් ඇති බවට සැක කෙරේ.

සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා තායිවාන් මූල්‍ය කොමිසමේ සහ තායිවාන් ඉන්ටර්පෝල් ශාඛාවේ පිරිසක්‌ ලබන සතියේදී මෙරටට පැමිණීමට නියමිතයි. 

Related posts

Comments are closed.

Top