දේශපාලන සිරකාර නිදහස වෙනුවෙන් උතුරේ පැවති හර්තාලය සාර්ථකයි | VIDEO

කොන්දේසි විරහිතව සියලු  දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා උතුරේ පවත්වනු ලබන හර්තාලයකින් යාපනයේ සියලු වැඩ කටයුතු අඩස්සි වී තිබේ.

දේශපාලන පක්ෂ, බහුජන ව්‍යාපාර  හා සිවිල් සංවිධාන එක්ව දියත් කළ හර්තාලයට පූර්ණ ජනතා සහාය පලවීමෙන් නගරය පාලුවට ගොස් තිබූ අයුරු  දැකගන්නට හැකිවූ අතර  සන්නද්ධ පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය පෙරටු කොටගත් භටයන් ‍දැඩි ලෙස යොදවා තිබූ බව ගගන වාර්තා කරුවෝ පවසති.

යුද අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥයකු දෙවැනි දිනයේ උතුරේ නිල සංචාරයක යෙදී සිටියදී දියත් වන එක්දින හර්තාලය සමගින් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ මෙහෙයවීමෙන්  පැවති විරෝධතාවක ප්‍රධාන සටන් පාඨයක් වී තිබුනේ “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරනු” යන්නයි.

දේශපාලන සිරකරුවන් බොහෝ දෙනකුට එරෙහිව ඉදිරිපත් කළ හැකි එකම සාක්ෂිය ඔවුන්ගෙන් බලහත්කාරයෙන් ලබාගත් පාපොච්චාරණ පමණක් වන බව පෙන්වා දෙමින් ජනාධිපතිවරයාට ලිපියක් ලියන විපක්ෂ නායකයා සාමාන්‍ය අධිකරණයක් ඒවා භාර නොගන්නා හෙයින් නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවට ඇති නොහැකියාව නිසා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදාගෙන අත් අඩංගුවට ගන්නා ලද අයට ඇති දීර්ඝ කාලයක් සිරගතව සිටින්නට සිදුවී ඇති බව කියා සිටී.

සංහිඳියාවට හානියක් 

දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය ට දේශපාලන මානයකුත් ඇති හෙයින්, එය හුදෙක් නෛතික කාරණයක් ලෙස සලකා මුහුණ දිය නොහැකි බව ලිපියේ අවධාරණය කෙරේ.

“ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් කල් ඇතිව සාධාරණ පියවර ගෙන තිබුනේ නම්, අත් අඩංගුවේ ඉන්නා මේ බොහෝ දෙනා අද ඉන්නා තත්වයේ නොඉඳ ප්‍රයෝජනවත් පුරවැසියන් වන්නට තිබුනි,” යි විපක්ෂ නායක ආර් සම්බන්ධන් ලියා තිබේ.  “ඒ නිසා ඔබ මේ ප්‍රශ්නය දෙස දේශපාලනිකව බලා විසඳීමට පියවර ගැනීම අත්‍යාවශ්‍යය. එය දේශපාලනික විසඳීමට පියවර නොගැනීම සංහිඳියාවටත්, හොඳහිත හා එකමුතුකමටත් හානියකි.”

උතුරේ හර්තාලයට රාජ්‍ය ආයතන සේවයන් ද සිය දායකත්වය ලබා දී බව මෙන්ම පාසල් ළමුන්ගේ පැමිණිමේ අඩුවක් දක්නට තිබු බව ද ගගන වාර්තාකරුවෝ පවසති.

යාපනයේ සහ කිලිනොච්චියේ දී හර්තාලයට සහාය පල කරමින් විරෝධතාව පැවැත්වෙද්දී ව්විනියාවේ එක් දින උපවාසයක් ක්‍රියාත්මක වේ. 

Related posts

Comments are closed.

Top