ගංවතුර වන්දි නොගෙවා “ලෝක වාර්තාවක්” තැබූ නිලධාරීන්ට අගමැති දෙහි කපයි

පස් මසකට ඉහතදී ගැලු ගංවතුරින් පත් පීඩාවට සහන පැතූ මාතර දිස්ත්‍රික්කයේ දහසකට අධික පිරිස අතරින් කිසිවකුටත් මේ වන තුරු වන්දි ගෙවා නැතිවීම ගැන රාජ්‍ය නිලධාරීන් අගමැතිවරයාගේ කෝපාවිෂ්ට දෝෂ දර්ශනයට ලක්වී තිබේ.

රජය ඒ සඳහා ලබා දී තිබෙන රුපියල් මිලියන 365 න් “සතයක් වත්” ගෙවා නැතිවීම ලෝක වාර්තාවක් ලෙසින් අගමැතිවරයා විසින් හෙලා දැක ඇත්තේ ගංවතුර සහ නායයාමේ විපත්වලින් හානියට පත් දිස්ත්‍රික්ක හතරක ප්‍රගති සමාලෝචන රැස්වීමකදීය.

“ඔක්තෝබර් 10 වැනි දා වන විට මේ අය ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා,” යි අගමැති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ. “හානි වූ ගොඩනැගිලි ඉල්ලූම්පත් 1361 න් එකක් සඳහාවත් ගෙවීම් කර නැහැ. එම නිසා රුපියල් මිලියන 356 ක මුදලින් සතයක්වත් ගෙවා නැහැ.”

ගෙවීම් සඳහා මෙතරම් ප්‍රමාදයක් සිදු වී ඇත්තේ ඇයි දැයි විමසු අගමැතිවරයා  ඒ සඳහා හේතු පැහැදිලි කර අනාගතයේ ගෙවීම් කඩිනම් කරන්නේ කෙසේදැයි දැනුම් දෙන ලෙස ජාතික රක්‍ෂණ භාර අරමුදලට නියෝග කොට තිබේ.

ඒ මුදල් අනුමත කරන ලද වග දිස්ත්‍රික් ලේකම් වරුන් පවසා ඇති බවයි අගමැතිවරයා පවසන්නේ.

සීමාසහිත මොරවක්කෝරළයේ තේ නිපදවන්නන්ගේ සමූපකාර සමිති ශාලාවේ 13 සිකුරාදා පැවති රැස්වීමට ගාල්ල, මාතර, රත්නපුර සහ කලූතර දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන් සහභාගි වූ බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය දැනුම් දෙයි.

දෙසියයකට අධික පිරිසක ජීවිත බිලිගත් පසුගිය මැයි මාසයේ ගංවතුර හා නායයාම් ව්‍යසනයේදී ශ්‍රී ලංකාවේ රජය ආපදා කළමනාකරණය ඒකාබද්ධව සම්බන්ධීකරණය නොකළ බවට එක්සත් ජාතීන්ගේ විවේචනයට ලක්විය.

ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇති ඉහළම ආයතනය වන ආපදා කළමනාකරණ ජාතික සභාව නොකැඳවා  ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙන් වෙන්ව කටයුතු කිරීම සහනාධාර නිසියාකාර පීඩිතයන් අත පත්වීමට බාධකයක් වූ බව එක්සත් ජාතීන්ගේ ළමා හා අධ්‍යාපන අරමුදල (UNICEF)  ජූනි මාසයේ නිකුත් කළ වාර්තාවක දැක්වුනි.

කතන්දර එපා

කෙසේ වෙතත්, ගංවතුරින් පසු වන්දි ගෙවීමේ වරද  අගමැතිවරයා විසින් පටවා ඇත්තේ රාජ්‍ය නිලධාරීන්ටයි.

වන්දි ගෙවීමේ වගකීම ඉටු කළ නොහැකි නම් තමන්ට දැනුම් දුන් විට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට වෙනත් පිරිසක් යොදවා කටයුතු අවසන් කරන බව අගමැතිවරයා මොරවක්කෝරළයේ දී දන්වා තිබේ.

නිලධාරීන්ගෙන් ඔහු තදින් ඉල්ලා ඇත්තේ රාජකාරිය පැහැර හැරීමට හේතු දක්වන “කතන්දර” නොකියන ලෙසයි.

“විපතට පත්වූ ජනතාව වෙනුවෙන් අප කඩිනම් සහන සැලසිය යුතුයි. ඔබේ නොයෙක් කතන්දර අසමින් කාලය ගත කරන්නට මට වෙලාවක් නැහැ,” යි අගමැති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය නිලධාරීන්ට පවසා තිබේ. “ඔබ නිසියාකාරව වැඩ කටයුතු කළා නම් ගමේ ආර්ථිකයට අවශ්‍ය තරම් මුදල් ලැබෙනවා. නමුත් ඒ මුදල ඔවුන්ට ලැබුණේ නැහැ.”

නොවැම්බර් මාසය අවසන් වන විට සියලූම ගෙවීම් කටයුතු අවසන් නොකළ හොත් අනාගතයේ ආධාර මුදල් නොලැබී යාමේ අවදානමක් ඇති බවට අගමැතිවරයා අනතුරු අඟවා තිබේ.

Related posts

Comments are closed.

Top