මානව හිමිකම් සහතික කිරීමේ පමාව ගැන වීරවංශ ගෙන් ජනපතිට පැසසුම් | VIDEO

යුද පීඩිතයන්ට යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාදාමය පමා කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් දේශපාලන පක්ෂයේ ප්‍රශංසාව ජනාධිපතිවරයාට හිමිවී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව ගිවිසගත් යෝජනාව ක්‍රියාත්මක වීමත්, අතුරුදහන් කිරීම් අපරාධයක් බවට පත් කෙරෙන ජාත්‍යන්තර සම්මුතිය රටේ නීතිය බවට පත්වීමත් වලක්වා ලීම සඳහා මැදිහත් වීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය තම ප්‍රසාදය පලකොට ඇත්තේ නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අත්හිටුවන ලෙස ඉල්ලා බල කිරීමට ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීය.

අතුරුදහන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත් විවාදය කල් දැමීමට පියවර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් දරන ලද මැදිහත්වීම ජාතික බලවේග අතර බලවත් ඇගයීමට ලක් වූ බව ද සඳහන් කරමින් එය නැවත පාර්ලිමේන්තුවට පැමිණීම අත් හිටුවීමට බලය පාවිච්චි කරන ලෙස මහින්ද රාජපක්ෂ හිතවාදී කණ්ඩායම ඉල්ලා තිබේ.

“ආණ්ඩුව විසින් පසුගිය දිනවල සම්මත කිරීමට උත්සාහ කොට ඔබතුමාගේ මැදිහත්වීම මත කල් දැමුණු අතුරුදහන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත වුවහොත් තත්වය ඉතා භයානක වන බවට කිසිදු සැකයක් නැතැ,” යි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය 11 බදාදා ජනපති නිල නිවසේ පැවති හමුවේදී බාර දුන් ලිපියක සඳහන් වේ. “එයට හේතුව එම පනත මගින් රණවිරුවන් දඩයම් කිරීමේ ක්‍රියාවලිය ජාත්‍යන්තරකරණය වීම ය. එම පනත සම්මත කළහොත් ඉන් පසුව ඇති වන තත්වයන් පාලනය කිරීමට ඔබතුමාට බල අධිකාරියක් හෝ දේශපාලන අවකාශයක් නොලැබෙන බව සහතික ය. එම නිසා එම පනත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම සඳහා ඔබතුමා සතු බලතල භාවිතා කරන ලෙස අපි ඔබතුමාගෙන් ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටිමු.”

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ එකඟතා ක්‍රියාත්මක කිරීම පසුබැස්වීමට ජනාධිපතිවරයා පියවර ගැනීම සම්බන්ධයෙන්ද සතුට පාලකරන විමල් වීරවංශ මන්ත්‍රීවරයා ගේ පක්ෂය, කෙසේවෙතත්, “ආරක්ෂක හමුදා දුර්මුඛ කොට දුර්වල  කිරීමේ උවමනාව” ඉදිරියට ගමන් කරන බව පෙනී යන බව පවසයි.

“විශේෂයෙන්ම අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත ක්‍රියාත්මක වීම තුළ එම ක්‍රියාකාරකම්වලට විධිමත්භාවයක් ද ලැබෙනු ඇත,” යි ඔවුන් භාර දුන් ලිපියේ සඳහන් වෙයි.

අලුත් ව්‍යවස්ථාවක් එපා

දැනට ආරම්භ කර ඇති අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අහෝසි කොට ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ව්‍යව්වස්තා සංශෝධන ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙසද විමල් වීරවංශ ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණ ඉල්ලා සිටී.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති ඇතැම් යෝජනා වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙස විරෝධය පල කර යවා ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ වග හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට කියා සිටි විමල් වීරවංශ මන්ත්‍රීවරයා “ධනාත්මක බලපෑමක්” කළ හැකිවූ බවට විශ්වාසය පල කළේය.

ජාතික නිදහස් පෙරමුණේ නායකයා සමග පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, දේශපාලන මණ්ඩල සභිකයන් වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, නිරෝෂන් ප්‍රේමරත්න, මොහොමඩ් මුසම්මිල් ඇතුළු පිරිසක් නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා මුණගැසුණු බව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් තහවුරු කරනු ලැබුවත් සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් කිසිවක් හෙළිකර නැත.

“ජාතික සම්මුතියා සඳහා කාගේත් අදහස් වටිනවා,” යි ජනාධිපතිවරයා හමුව සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් යවමින් කියා තිබුනි.

අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කර ඇත්තේ රට පුරා ගොස් ලබාගත් මහජන අදහස් ගොනු කිරීමෙන් පසුවයි. 

Related posts

Comments are closed.

Top