ලෝකයාට කෙකර ගා ගෙදර දැම්ම බිත්තරේ කෝ? බාහු ආණ්ඩුවෙන් අසයි | VIDEO

මානව හිමිකම් රකින බවට ලෝකය හමුවේ ප්‍රකාශයට පත් කරමින් දේශපාලන සිරකරුවන් නිදහස් නොකර හිඳීම ගැන රජය බලයට පත් කිරීම සඳහා වෙහෙසුනු දේශපාලන හා ආගමික නායකයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ආණ්ඩුව ලක් විය.

ඔවුන් රජය වෙත තම විරෝධය එල්ල කළේ දෙමළ දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලා උතුරේ දියත් කර ඇති හර්තාලයට සහාය දක්වමින් කොළඹ පැවති විරෝධතාවකදීය.

“දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන රටක් හැටියට පෙන්නන්න තමුන්නාන්සේලා කෙකරගානවා. නුමුත් තමුන්නාන්සේලා දාන බිත්තරේ මොකක්දැ,” යි නව සමසමාජ නායක වික්‍රමබාහු කරුණාරත්න රාජ්‍ය පාලකයන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.

වව්නියාවේ සිට අනුරාධපුරයේ මාරුකර ඇති  නඩු ආපසු යවන ලෙස ඉල්ලා දින විස්සකට ආසන්න කාලයක් උපවාසයක යෙදී සිටින මදියරසන් සුලක්ෂන්, ගනේෂන් දර්ශන් සහ රාසදුරෙයි තිරුවරුල් තිදෙනාගේ ඉල්ලීමට කන් නොදීම ආචාර්ය වික්‍රමබාහු හැඳින්වූයේ ජාතිවාදී නීතියක් ලෙසයි.

එමගින් මහජාතියට එක් නීතියකුත්, අනිකුත් ජාතීන්ට හා ආගම වලට තවත් නීතියකුත් ක්‍රියාත්මක කෙරෙන බව තහවුරු වන්නේ යැයි   ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

යාපනය හින්දු මහා විද්‍යාලයේ පැවැත්වෙන දෙමළ සාහිත්‍ය උළෙල ඇතුළු රාජ්‍ය උත්සව කිහිපයකට සහභාගි වීම සඳහා උතුරට යාමට නියමිත ජනාධිපතිවරයාටදේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කාර පියතුමන් ප්‍රසිද්ධියේ කියා සිටියේ සාධාරණය ඉටු නොකර එහි යාම යුක්ති සහගත නොවන බවයි.

උපවාසික තරුණයන්ගේ ජීවිත බේරා ගැනීමට මැදිහත් විය නොහැකි නම් උතුරට යාමට වඩා සුදුසු වන්නේ ගෙදරට යාම බව මාරිමුත්තු සතිවේල් පියතුමා ජනාධිපතිවරයාට කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උතුරට පැමිණෙන 14 සෙනසුරාදා දේශපාලන සිරකරුවන් නිදහස වෙනුවෙන් දේශපාලන මැදිහත්වීමක් නොකිරීමට විරෝධය පෑම සඳහා උදෑසන 9 ට යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිටට  කැඳවා  තිබූ උද්ඝෝෂණයකට එරෙහිව පොලිසිය අධිකරණ තහනම් නියෝගයක් ලබාගෙන තිබේ. 

Related posts

Comments are closed.

Top