“පළමු බෝම්බය හෙලන තුරා” අපි සාමෙන් 

 

උතුරු කොරියාව සමඟ ඇති විරසකය සාමයෙන් විසඳා ගැනීමට ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවශ්‍ය කර තිබෙන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටයිලර්සන් අවධාරණය කර තිබේ.

“පළමු බෝම්බය බිමට හෙලන තුරු” එය අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇතැයි ඔහු CNN මාධ්‍ය ආයතනය වෙත 15 ඉරිදා පවසා ඇත.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි වැඩසටහනට එරෙහිව ජාත්‍යන්තරය පෙර නොවූ විරු අයුරින් පෙළ ගැසීමට සම්බාධක සහ රාජ්‍ය තාන්ත්‍රික උපාය හේතු වුනු බව ටයිලර්සන් පැවසුවේය.

උතුරේ නායක කිම් ජොන්-උන් සමඟ සාකච්ඡා පැවැත්වීමට උත්සාහ  කිරීමෙන් “කාලය නාස්ති නොකරන” ලෙස පසුගිය මසදී ජනපති ට්‍රම්ප් රාජ්‍ය ලේකම් වෙත පවසා තිබුණි.

ප්‍රහාරක ජෙට් යානා, මිසයිල නාශක සහ ගුවන් යානා ප්‍රවාහන නෞකා සම්බන්ධ කරගනිමින් ඇමරිකාව සහ දකුණු කොරියාව ඒකාබද්ධව කොරියා අර්ධද්වීප මුහුද අවට යුද අභ්‍යාස ආරම්භ කළ පසුබිමක ටයිලර්සන් මෙම අදහස් පල කර ඇත.

කෙසේ වෙතත් නිරන්තරයෙන් සිදු කෙරෙන මෙම යුද අභ්‍යාස උතුරේ කෝපයට හේතු වී තිබේ.

“යුද්ධයක් වෙනුවෙන් පෙරහුරුවක්” බව සඳහන් කරමින් එය හෙලා දැකීමටත් ඔවුන් මින් පෙර කටයුතු කර තිබුණි.

පසුගිය ජුලි මස එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තු මුලස්ථානයේ පැවති රැස්වීමකින් අනතුරුව ජනපති ට්‍රම්ප් අඥානයකු ලෙස සඳහන් කිරීමක් ඔහු සිදු කළේදැයි මාධ්‍ය විමසු විට ඒ සඳහා පිළිතුරු ලබාදීම මෙවර ද ටයිලර්සන් ප්‍රතික්ෂේප කර ඇත.

“මම එවැනි නොවැදගත් දේ සැලකිල්ලට ගන්නේ නැහැ,” යනුවෙන් ඔහු ප්‍රතිචාර දක්වා තිබේ. 

Related posts

Comments are closed.

Top