කිතුවසින් පෙර යුගයේ කාසි බඳුනක් අනුරාධපුරයෙන් හමුවේ

 

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජේතවන ව්‍යාපෘතිය මගින් අනුරාධපුර උච්චාවාලික රජමහ විහාරයේ සිදුකරන ලද කැණීම් හා සංරක්‍ෂණ කටයුතුවලදී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් කාසි සහ තවත් භාණ්ඩ කිහිපයක් හමු වී තිබේ.

එහිදී හමු වූ සෙන්ටිමිටර 10 ක් පමණ උස රතු පැහැති මැටි බඳුනක් තුළ විවිධ සංකේත සහිත කාසි 325 ක් හමුවී ඇත.

එමෙන්ම සෙන්ටිමිටර් 2 ක් දිගින් හා සෙන්ටිමිටර් 1ක් පළලින් යුත් රෙදි කැබැල්ලක් සහ සෙන්ටිමිටර් 1 × 1.5 පමණ ප‍්‍රමාණයේ රෙදි කැබලි 2 ක් ද සොයාගෙන ඇති අතර මේ වන විට මෙම පුරාවස්තු සම්බන්ධව පර්යේෂණ කටයුතු සිදු කරමින් පවතින බව රජය පවසයි.

උච්චාවාලික රජමහ විහාරය අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ තිරප්පනේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 520 ග‍්‍රාම සේවා වසමේ උට්ටිමඩුව ග‍්‍රාමයේ පිහිටා ඇති අතර අනුරාධපුර මහනුවර මාර්ගයේ කිලෝමීටර් 18ක් ගොස් ගල්කුලම මංසන්ධියෙන් වමට හැරී යකල්ල මාර්ගයේ කිලෝමීටර් 8ක් පමණ ගමන් කර විහාරස්ථානයට ළගා විය හැකි ය.

 

 

උත්තිය රජ දවස

බුදු දහම මෙරටට හඳුන්වාදීමත් සමග ව්‍යාප්ත වූ විහාරාරාමවල මුල්කාලීන ලක්ෂණ සහිත මෙම විහාරස්ථානය ක්‍රි.පූ. 3 හෝ 2 වන සියවස්වලට අයත්විය හැකි යැයි අනුමාන කෙරෙන අතර, උත්තිය රජ දවස ඉදි කළ බවට විශ්වාසයක් ද පවතී.

මෙම විහාරස්ථානයේ ගරාවැටුණු ස්ථූපයක්, ආසන ඝරයක් හා ටැම්පිට විහාරස්ථානයකට අයත් බවට අනුමාන කළහැකි ගල් කණු සහිත ස්මාරක දක්නට ලැබෙන බව රජය පවසයි.

අටපට්ටම් හැඩැති වේදිකාවක් මත ඉදි කර ඇති ස්තූපයේ වට ප‍්‍රමාණය අඩි 38ක් පමණ වන අතර එය වැලි මළුවේ සිට අඩි 4ක් උසැති කළු ගලින් නිමකරන ලද හතරැස් ප‍්‍රාකාරයකින් වටකර ඇත.

 

 

සළපතල මළුව රවුම් හැඩ ගලින් කළ ඇතුරුමකින් සමන්විත ය. එයට ප‍්‍රවේශ වීම සඳහා සිව් දිශාවෙන් ම පියගැටපෙළ සහිත දොරටු දක්නට ලැබේ.

ස්ථූපයේ පේසාවක ලක්‍ෂණ දක්නට නොමැති අතර අඩි 2 අඟල් 11 ක් පමණ වන වේදිකාව මත ස්ථූප ගර්භය නිමවා ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ස්ථූපයේ දකුණු දොරටුවට දකුණු පසින් වේදිකාවට ඉතා ආසන්න ව සිදු කරන ලද සංරක්‍ෂණ කටයුතුවල දී කාසි ඇතුළත් බඳුන හමු වී තිබේ.

Related posts

Comments are closed.

Top