දෙමළ දේශපාලන සිරකරුවන්ට දෙපාරක් සමාව දිය යුතුයි: බාහු | VIDEO

දේශපාලන හේතු නිසා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන වසර ගණනාවක් බන්ධනාගාර ගත කොට  සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ට දෙවරක් සමාව දිය යුතු බව නව සමසමාජ පක්ෂයේ නායකයා පවසයි.

රජයට විරුද්ධ කැරලි දෙකක් දියත් කළ සිංහල දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් රජය විසින් ලබා දුන්නේ නම් එක කැරැල්ලක් දියත් කිරීම නිසා සිරගත කරන ලද දෙමළ කැරලිකරුවන්ට දෙවතාවක්ම සමාව දිය යුතු බවයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසන්නේ.

දෙමළ කැරලිකරුවන් සමාජ අසාධාරණයට මෙන්ම ජාතික පීඩනයටත් එරෙහිව තම අරගලය දියත් කළ බව පෙන්වා දුන් නසසප නායකයා දෙවරක්ම සමාව ලද සිංහල තරුණ තරුණියන් කැරලි ගැසුවේ සමාජ අසාධාරණයට එරෙහිව පමණක් බව පෙන්වා දුන්නේ බලය බෙදා රට එක්සත් කිරීමේ ව්‍යාපාරය කොළඹදී මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවකදීයි.

මෛත්‍රීගේත් රනිල්ගෙත් දරුවෝ

රටේ හැම දෙනාම තමන්ගේ දරුවන් ලෙස හඳුන්වන ජනපති අගමැති දෙපළ දෙමළ දරුවන්ට වෙනස්කම් කිරීම අයුක්ති සහගත බවට ආචාර්ය වික්‍රමබාහුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

අනුරාධපුරයට මාරු කරන ලද තම නඩු දෙමළෙන් ඇසීම සඳහා නැවත වව්නියා අධිකරණය වෙත මාරු කර එවන ලෙස ඉල්ලමින් 29 වැනි දිනටත් මදියරසන් සුලක්ෂන්, ගනේෂන් දර්ශන් සහ රාසදුරෙයි තිරුවරුල් තිදෙනා උපවාසයක නිරතව සිටී.

ඔවුන්ගේ ඉල්ලීමට සහාය දක්වමින් උතුරු නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුන් විසින් මේ වනවිට මහජන පෙත්සම් ව්‍යාපාරයක් දියත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින බව ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබේ.

දේශපාලන සිරකරුවන් අත්අඩංගුවට ගෙන වසර ගණන් රඳවා තබාගැනීමට යොදාගන්නා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අකුලා දමා මානව හිමිකම් රැකෙන ත්‍රස්ත විරෝධී පනතක් ගෙන එන බවට දෙවසරකට ඉහතදී දුන් පොරොන්දු ඉටු කර නැති බවට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවූ යුද අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥයා රජය දෝෂ දර්ශනයට ලක් කර තිබුනි.

රටේ නීතියට හරස්ව යන බවට ශ්‍රී ලකාවේ ආණ්ඩුව විසින්ම ප්‍රතික්ෂේප කර ඇති ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගනිමින් දේශපාලන සිරකරුවන් රඳවාගෙන සිටීම අයුක්ති සහගත බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ද ග්‍රීෆ් කොළඹදී හමුවූ අවස්ථාවේ කියා තිබුනි. 

Related posts

Comments are closed.

Top