හිදැස: ජනපති යාපනයේ, රාජපක්ෂ භීතිකාව හා භික්ෂූන්ගේ ව්‍යවස්ථා විරෝධය

මෙම සතියේ සිංහල සහ දමිළ පුවත්පත් වාර්තා සලකා බලන විට සැලකිය යුතු මට්ටමේ අතිපිහිත වීමක් දක්නට ලැබිණි. ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ යාපනය සංචාරය සහ ඒ ආශ්‍රිත අර්බුද, මල්වතු අස්ගිරි දෙපාර්ශවයේ ඒකාබද්ධ ප්‍රකාශය සහ මැතිවරණ ක්‍රම සංශෝධන යන සියලුම කරුණු වෙත භාෂා දෙකේම පුවත්පත් මගින් සැලකිය යුතු මට්ටමේ ආවරණයක් ලබාදී තිබිණි.

පසුගිය සතියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන මැතිවරණ ආසන සංවිධායකවරුන් තිදෙනකු ඔවුන්ගේ තනතුරු වලින් ඉවත් කරන්නට යෙදුණේ, ‘පක්ෂයට හානි කිරීම’ යන චෝදනාව නඟමිනි. මෙය සිංහල පුවත්පත් තුළ ප්‍රධානතම මාතෘකාවක් වූවත්, දමිළ පුවත්පත් ආවරණය තුළ මීට ලැබී තිබුණේ ඉතාමත් අවම අවධානයකි. ප්‍රධාන පෙළේ දමිළ දිනපතා පුවත්පත් ගත්විට, ඉන්දු-ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් නව දිල්ලියේ පැවැත්වෙන ඉහළ මට්ටමේ සාකච්ඡා සම්බන්ධයෙන් ස්ථාවර ආවරණයක් ලබාදී තිබුණේ ලේක් හවුස් දමිළ පුවත්පත වන තිනකරන් පමණි. අනෙක් දමිළ පුවත්පත් මෙම ගැටළුව උපුටා දක්වා නොතිබූ අතර, සිංහල පුවත්පත් තුළද මෙම පුවතට ලැබී තිබුණේ අඩු අවධානයකි.

ජනපති සිරිසේනගේ ගමන නිසා යාපනයේ අර්බුද

පසුගිය සතියේ ජාතික දමිළ භාෂා දින සැමරුම් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන යාපනයට ගොස් තිබිනි. ඔහුගේ මෙම සංචාරය අතරතුරදී කළු කොඩි විරෝධතාවක් සංවිධානය කෙරී තිබුනේ, දමිළ දේශපාලන සිරකරුවන් පිළිබඳ තත්වය ඉස්මතු කොට පෙන්වා දීමටත්, රජය ඒ සම්බන්ධයෙන් දරන්නා වූ අක්‍රියාකාරීත්වයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමටත්ය. මෙම විරෝධතාවයත්, ඊට ජනපති විසින් දැක්වූ ප්‍රතිචාරයත් ද්වීභාෂා පුවත්පත් තුළ සැලකිය යුතු මට්ටමේ උනන්දුවක් ඇති කිරීමට සමත්ව තිබිනි.

පළමුව, මෙම වාර්තාකරණයන් ද්විත්වයට පාදක වූ කරුණු අතර විසංගත වීම් දක්නට ලැබිණි. රජයේ පුවත්පතක් වන දිනමිණ මගින් වාර්තාකොට තිබුණේ මෙම විරෝධතාකරුවන් ජනපති විසින් සංවාදයක් ඇරඹීම සඳහා කළ ඉල්ලීමට එකඟව සිය හඬ අවදි කළ බවත්, ඉන් පසු විරෝධතාවය අත් හැර දැමූ බවත් ය. උදයන් කතුවැකිය මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් වාර්තා කොට තිබුණේ, විරෝධතාවය තුළ ප්‍රචණ්ඩත්වයක් නොතිබුණත්, උතුරු පළාත් සභික මහලිංගම් සිවාජිලිංගම් සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් විසින් මෙහෙයවූ මෙම ජනකාය ‘ගිගුම් දෙන හඬින් සිය ප්‍රතික්ෂේප කිරීම’ පෙන්වූ බවයි.

දෙවෙනුව, සිංහල පුවත්පත් තුළ වූ යම් යම් කොටස් විසින් ජනාධිපතිවරයාට එරෙහිව, ඔහු “ත්‍රස්තවාදීන්ට” වුවමනා එපාකම් ඉ‍ටුකර දෙන බවට සිය අතෘප්තිය පළ කොට සිටියත්, දමිළ පුවත්පත් තුළ වූ ප්‍රතිචාරය සැලකිය යුතු තරම් ඉහළ සුබවාදී බවක් දක්වන්නට යෙදිණි. මෙහිදී (අ) කළු කොඩි විරෝධතාවක් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම් තිබියදීත් ජාතික දමිළ භාෂා දින සැමරුම් සඳහා යාපනයට පැමිණීම වෙනුවෙන් සහ (ආ) ආරක්ෂක අවශ්‍යතා පවා නොතකා හරිමින් විරෝධතාකරුවන් මුණගැසීමට හා ඔවුන් හා සංවාදයක් ඇතිකරගැනීමට කටයුතු කිරීමත් නිසා ජනපති සිරිසේන වෙත ප්‍රශංසා හිමිව තිබිණි. විරෝධතාව පැවැත්වූ දිනට පසු දිනයේදී ප්‍රමුඛ පෙළේ දමිළ දිනපතා පුවත්පත් මගින් වාර්තා කර තිබුණේ ජනපති විසින් “පෙළපාලියට පැමිණි සෙනඟට සවන් දුන්” බවයි. මුල් පි‍ටු ඡායාරූප මගින් චිත්‍රණය කොට තිබුණේ, කෝපාන්විත, ඝෝෂාකාරී විරෝධතාකරුවන් විසින් පිරිවරා ගෙන නිහඬව සිටිනා ජනපති සිරිසේනයි. උදයන් කතුවැකිය මගින් මෙහිදී නිරීක්ෂණය කොට තිබුණු කරුණක් වූයේ ජනපතිගේ හැසිරීම මගින් ඔහු අනිකුත් සිංහල-බෞද්ධ නායකයන්ගෙන් වෙනස් වන බවයි. ජනපති ඉදිරියේ ප්‍රසිද්ධියේම විරෝධතා පිටකිරීමට කටයුතු කිරීම දමිළ ප්‍රජාව වෙත හානිකර ප්‍රතිඵල ඇතිකරදීමට පමණක් හේතුවනු ඇතැයි පවසමින්, වඩාත් ජාතිකවාදී නැඹුරුවක් සහිත වාලම්පුරි පුවත්පත පවා මෙහිදී විරෝධතාකරුවන් හට දොස් පවරා තිබූ බවක් පෙනී යයි.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් මෙයට වෙනස් ආකාරයේ දැක්මක් ඇතිව හඬ අවදිකොට තිබිණි. ඔහු විසින් ප්‍රකාශ කොට සිටියේ, දකුණ විසින් මෙම විරෝධතාකරුවන් ත්‍රස්තවාදීන් ලෙසින් දකිනා බැවින් ජනපති සිරිසේන විසින් එල්ටීටීඊ හිතවාදීන්ට සම්මුඛ වීම තුළින් ශක්තිමත් ප්‍රතිරූපයක් දකුණට ප්‍රක්ෂේපණය කිරීම උදෙසා මෙම පෙර සූදානමකින් තොර හමුව රඟදැක්වූ බවයි. මෙම ප්‍රකාශය දමිළ පුවත්පත් මගින් වාර්තා කොට තිබුණද, දමිළ පුවත්පත් මත දැක්වීම් තුළ එයට හිමිව තිබුණේ අවම අවධානයකි.

කාටූනය සඳහා අනුග්‍රහය: තිනකුරල්

රාජපක්ෂ තර්ජනය

තුන්වනුව, දමිළ ප්‍රජාවට වැදගත් වන කාරණා සම්බන්ධයෙන් වන අවම ප්‍රගතිය සඳහා නිදහසට කරුණක් ලෙසින් මහින්ද රාජපක්ෂගෙන් ඇති තර්ජනය භාවිතා කරනු දැකීම තවදුරටත් වෙහෙසකාරී වන බවට සළකුණු දමිළ පුවත්පත් තුළින් මතුවන්නට පටන් ගෙන තිබිණි. දමිළ භාෂා දින උත්සවයේදී ජනපති සිරිසේන විසින් කළ කතාවේදී, තමන් දුර්වල කිරීම මගින් සිදුවනු ඇත්තේ ‘යක්ෂයාව ශක්තිමත් කිරීම’ පමණක් වන බවට කළ අනතුරු ඇඟවීම අරුත් ගන්වා තිබුණේ රාජපක්ෂ සම්බන්ධයෙන් ව්‍යංගයෙන් කළ ඇඟවීමක් ලෙසිනි. වීරකේසරී තීරු ලිපියකින් පෙන්වා දුන් ආකාරයට මෙවැනි සඳහන් කිරීම් නිර්මාණය කොට ඇත්තේ දමිළ අභිලාෂයන් සහ අයිතීන් මෙන්ම ලැබිය යුතු යුක්තිය යටපත් කිරීමටයි. එහිදී තර්ක කෙරී තිබුණේ ප්‍රජාතාන්ත්‍රික අරගලයක් කෙරෙහි අවකාශය නිර්මාණය කිරීම යනු, වර්තමාන රජය විසින් විශ්වාස කරනා බව පෙනෙනා ලෙසට ප්‍රජාතන්තවාදයේ අවසානය නොවනා බවටයි.

ව්‍යවස්ථා සංශෝධන විරෝධී බෞද්ධ භික්ෂූන්

ව්‍යවස්ථා සංශෝධන අනවශ්‍ය බව ප්‍රකාශ කරමින් මල්වතු සහ අස්ගිරි පාර්ශව වෙතින් නිකුත් වූ ඒකාබද්ධ ප්‍රකාශය, සිංහල සහ දමිළ පුවත්පත් තුළ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රතිචාරයන් නිර්මාණය කොට තිබිණි.

මේ සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂූන්ගේ ස්ථාවරය ඒකාත්මික එකක් නොවන බවට පැහැදිලි කරමින්, සිංහල පුවත්පත් තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මේ පිළිබඳව කලින් දැක්වුණු වාර්තා සාර්ථකව නිශ්ප්‍රභ කොට තිබිණි. මෙම ඒකාබද්ධ ප්‍රකාශය සාමූහික ස්ථාවරයක් පිළිබිඹු නොකරන බව ප්‍රකාශ කරමින් මල්වතු පාර්ශවයේ අනුනායක හිමියන් විසින් කළ සඳහනක් දිනමිණ පුවත්පත මගින් පළ කොට තිබිණි. මීට අමතරව මෙම සතියේදී නව ව්‍යවස්ථාවේ යෝජකයන් විසින්, බහුවිධතාවය, යුක්තිය සහ සාධාරණත්වය වැනි සංකල්පයන් අවධාරණය කරමින් වඩාත් ප්‍රගතිශීලී ව්‍යවස්ථා සංශෝධනයන්ට අනුබල දෙමින් වඩාත් නිර්මාණශීලී සහ ස්වාධීන තර්ක විතර්ක ගෙනහැර දක්වා තිබූ බව සිංහල පුවත්පත් ආවරණය මගින් දැක තිබිණි.

මෙයට හාත්පසින්ම විරුද්ධ ලෙසින්, මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්ගෙන් නිකුත් වූ ඒකාබද්ධ ප්‍රකාශය සම්බන්ධයෙන් දමිළ පුවත්පත් තුළ වූ මත දැක්වීම් සර්ව අශුභවාදී වූ බවද දක්නට ලැබිණි. තිනකුරල් පුවත්පතේ දේශපාලන අතිරේකයේ වූ ප්‍රසිද්ධ මත දැක්වීමේ ලිපියක සිරස්තලය වූයේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවන්ට මරු පහරක් යනුවෙනි. කතුවැකිය මගින් බෞද්ධ භික්ෂූන්ගේ මෙම මැදිහත්වීම දක්වා තිබුණේ ‘කොයි මොහොතක හෝ පුපුරා යා හැකි කාල බෝම්බයක්’ ලෙසිනි. උදයන් පුවත්පතේ කතුවැකිය මගින් දොම්නස් සහගත ස්වරයකින් පුරෝකථනය කොට තිබුණේ, මේ වනවිට නව ව්‍යවස්ථාවක් සඳහා හඬ නගන්නවුන්ගෙන් අඩු තරමින් හරි අඩක් හෝ දැන් සිය අදහස වෙනස් කර පිල් මාරු කරනු ඇති බවටයි. වීරකේසරී පුවත්පත මගින් වැඩි ප්‍රමුඛතාවක් ලබාදී තිබුණේ, මල්වත්ත අනුනායක හිමියන්ගේ මතයට ප්‍රතිවිරුද්ධ ආස්ථානයක් ගනිමින්, මෙම ඒකාබද්ධ ප්‍රකාශය සැබවින්ම මහනායක හිමිවරුන් දෙනමගේ ආඥාව හා අභිමතය අනුව නිකුත් වූ බවට ප්‍රකාශ කොට සිටි අස්ගිරිය පාර්ශවයේ අනුනායක හිමියන්ගේ ප්‍රකාශයටයි. දමිළ දේශපාලන ලියුම්කරුවන් විසින් මෙම භික්ෂූන් වහන්සේලාගේ ස්ථාවරය අරුත් ගන්වා තිබුණේ, දමිළ ස්වයං නිර්ණ අයිතියට පමණක් නොව, බලය විමධ්‍යගත කිරීම යන අදහසටම ප්‍රතිවිරුද්ධ වීමක් ලෙසිනි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top