තමන්ගේ සගයන් වෙනුවෙන් කතා නොකරන මාධ්‍යයට අගමැති දෙහි කපයි | VIDEO

දේශපාලකයන් විසින් කරනු ලබන බලපෑම් සහ තර්ජන ගැන හඬ නැගුවත් තම වෘත්තීය සගයන්ට එරෙහි මර්දනය සම්බන්ධයෙන් පියවර නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය  අගමැති වරයාගේ දෝෂ දර්ශනයට ලක්විය.

ජීවිත අහිමි වීම ඇතුළු පීඩාවලට ගොදුරු වූ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් “කතා කරන්නේත් නැති, බලන්නෙත් නැති” මාධ්‍ය වලට වෙනත් දේ ගැන කතා කිරීමේ අයිතියක් නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ මානව හිමිකම් රැකීම සඳහා වන රජයේ සැලැස්ම එළි දක්වමිනි.

මානව අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සහ ප්‍රවර්ධනය සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමේ එම අවස්ථාවට ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකද සහභාගි වී සිටියහ.

කුලප්පු වෙන්න එපා

මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධාරීන් ද ජනමාධ්‍ය වල ප්‍රහාරයට ලක්වන බව පෙන්වා දුන් අගමැතිවරයා “රාජ්‍ය නොවන සංවිධාන මානව හිමිකම් ප්‍රශ්න මතු කළා යැයි කියා ඊට කුලප්පු විය යුතු නැහැ,” යි එම අවස්ථාව වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් අමතා කියා සිටියේය.

පීඩාවට ලක්වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ඔවුන්ට සිදුවූ දේ සොයා බැලීමට කොමිසමක් වත් ඉල්ලා නැතැයි ඔහු ජනමාධ්‍ය ආයතන ගැන කතා කළේ චෝදනා මුඛයෙනි.

“මාධ්‍යවේදීන් ගණනාවකගේ ජීවිත අහිමි වුණා. තවත් මාධ්‍යවේදීන්ට හිරිහැර සිදු වුණා. තවත් අයට රටින් පැන යන්නට සිදු වුණා. කිසි දිනෙක මේ කරුණු ගැන මාධ්‍යයෙන් කතා කරන්නේ නැහැ,” යි අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

JDS 44

කෙසේ වෙතත්, ජනමාධ්‍ය මර්දනයට එරෙහිව ඇතැම් මාධ්‍ය සංවිධාන හඬ නගන බවද අගමැති වරයා සඳහන් කළේය.

ජනතාව සතු මානව හිමිකම් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වගකීමක් ජනමාධ්‍ය සතුව පවතින බවත් අගමැතිවරයා මෙහිදී සිහිපත් කර දුන්නේය.

මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් මහත් උනන්දුවෙන් කතා කළ අගමැතිවරයා විසින් දෑවුරුද්දකට ආසන්න කාලයකට ඉහතදී බාර ගන්නා ලද ලැයිස්තුවක දැක්වෙන ඝාතන ඇතුලු පීඩාවලට ගොදුරු වූ මාධ්‍යවේදීන් 44 ක් අතරින් නීතිමය පියවර ගෙන ඇත්තේ ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් පමණකි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් සම්පාදනය කර ඇති එම වාර්තාවේ දැක්වෙන අනිකුත් මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් රජය කවර පියවරක් ගන්නේදැයි අගමැතිවරයා ඇතුළු කිසිදු රජයේ වගකිවයුත්තෙක් මේ තාක් පවසා නැත.

 

Related posts

Comments are closed.

Top