හිදැස: අලුත් ව්‍යවස්ථාව, කැකිරාව දැරිය, පැබ්ලෝ ද ග්‍රීෆ්  හා යාපනයේ ඝාතනය

මෙම සතියේ සිංහල සහ දමිළ පුවත්පත් අතර වූ එකම පොදු ප්‍රවෘත්තිය වූයේ ව්‍යවස්ථා සංශෝධන පමණි. පසුගිය සතියේ සිට මේ වනවිට සිංහල පුවත්පත් තුළ නව ව්‍යවස්ථාවේ යෝජකයන් තවදුරටත් තම ස්ථාවරය තහවුරු කරගෙන තිබූ නමුත්, දමිළ පුවත්පත් කතිකාව තුළ ව්‍යවස්ථා සංශෝධනවාදීන්ට තවමත් පය ගැසීමට සැලකිය යුතු ඉඩක් ලැබී නොතිබුණි.

ගැබිණියක බවට වරදවා වටහා ගනිමින් පාසැලෙන් ඉවත් කිරීමට යෙදුණු කැකිරාව පාසැල් දැරිය සම්බන්ධයෙන් දමිළ පුවත්පත් තුළ වාර්තා වී නොතිබුණි. මීට සමාන ලෙසින් සංවර්ධන ලොත‍රැයි මණ්ඩලයේ උපදේශකයන් දස දෙනෙකු වැඩට පවා නොපැමිණෙමින් ඉහළ වැ‍ටුප් ලබාගත් බව හෙළිදරවු වීමද දමිළ පුවත්පත් තුළ අවධානයකට පාත්‍ර වී නොතිබුණි. මේ අතරේදී දමිළ දේශපාලන සිරකරුවන් සම්බන්ධ ගැටළුව සිංහල පුවත්පත් තුළ අවම අවධානයක් දිනාගත් පුවතක් බවට පත්ව තිබිණි.

කාටූනය සඳහා අනුග්‍රහය: වීරකේසරී – 2017 ඔක්තෝබර් 25

පැබ්ලෝ ඩි ග්‍රීෆ්ගේ ප්‍රකාශය හා දමිළ පුවත්පත්

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රීෆ්ගේ ශ්‍රී ලංකාවේ සති දෙකක සංචාරයෙන් පසු ඔහු විසින් කරන්නට යෙදුණු නිවේදනය දමිළ පුවත්පත් විසින් අතිශය සමාදරයකින් පිළිගෙන තිබිණි. පෙනෙනා ලෙසට ඔහු මෙරටට පැමිණ ඇත්තේ විශේෂ අධිකරණයක් පිහි‍ටුවීම වෙනුවට සත්‍යය සහ සංහිඳියා කොමිසම පැනවීම සඳහා ප්‍රමුඛතාවය ලබාදීමටය (සංහිඳියා යාන්ත්‍රණයන් පිළිබඳ ප්‍රවිචාරණ කාර්ය බලකායේ නිර්දේශයන්ට පටහැණි ලෙසින්) යන කරුණ ඉස්මතු කෙරී හෝ විවේචනය කෙරී නොතිබුණි.

ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දමිළ පුවත්පත් තුළ වූ මත දැක්වීම්, වඩාත් පුළුල් තේමාවන් දෙකක් ඔස්සේ පැන නැඟී තිබිණි.

පළමුව, රජය මෙම විශේෂ නියෝජිතයාගේ නිර්දේශ අනුව ක්‍රියාකිරීමට බැඳී නොමැති බවට මින් පෙර විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් කළ ප්‍රකාශය දමිළ දේශපාලන ලියුම්කරුවන් විසින් අර්ථ කතනය කරන්නට යෙදුණේ, වගවීම කෙරෙහි රජය දක්වන මන්දෝත්සාහී භාවය පෙන්නුම් කරන්නක් ලෙසිනි. වීරකේසරී පුවත්පතේ වූ මත දැක්වීමේ ලිපියක සිරස්තලය යෙදී තිබුණේ “එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයාගේ උපදේශයට ශ්‍රී ලංකාව ඇහුම්කන් දෙනු ඇතිද” යනුවෙනි. ලිපිය තුළ මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයී තිබුණේ සෘණාත්මක ස්වරයකිනි. තවත් ලිපියක් මගින් නිරීක්ෂණය කොට තිබුණේ, රජය විසින් මේ සිදුකරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමගින් තමන් ක්‍රියාකරන බවට හැඟීමක් සරලවම ප්‍රක්ෂේපණය කිරීම පමණක් බවයි.

දෙවෙනුව, “වගවීම මෙහිදී හෝ රටෙන් එපිටදී බලාපොරොත්තු වන්නට සිදුවනු ඇත” යනුවෙන් ඩි ග්‍රීෆ් විසින් කළ අනතුරු ඇඟවීම, දමිළ පුවත්පත් තුළ වූ විවිධ කොටස් මගින් පුරෝකථනය කොට තිබුණේ වගවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වඩ වඩාත් ජාත්‍යන්තරයෙන් පීඩනයක් එල්ල වනු ඇතිය යනුවෙනි. වීරකේසරී කතුවැකියක් මගින් ඩි ග්‍රීෆ්ගේ වදන් “තදබල අනතුරු ඇඟවීමක්” ලෙසින් අර්ථ දක්වමින්, වහාම ඔහුගේ නිර්දේශ ක්‍රියාවේ යෙදවීමට කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා රජයට කියා සිටින්නට යෙදිණි. තිනකුරල් ලිපියකින් අනතුරු අඟවා තිබුණු ආකාරයට රජය ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වුවහොත්, මෑතකදී බ්‍රසීලයේදී මේජර් ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව පැවරුණු නඩුව වැනි ජාත්‍යන්තර අධිකරණයේ වන අපරාධ නඩු තව තවත් පැවරෙනු ඇත.

ඩි ග්‍රීෆ් ලංකාවට පැමිණීම සහ ඔහුගේ පිටත්වීමට පෙරාතුව ඔහු විසින් කළ ප්‍රකාශ, සිංහල ජාතිකවාදී පුවත්පත් තුළ කඩින් කඩ වූ විරෝධතා පමණක් අවුස්සා තිබෙනු දක්නට ලැබිණි.  වීරකේසරී ලියුම්කරුවෙකු විසින් මෙහිදී සඳහන් කොට තිබුණේ, මෙම තත්වයට හේතුව වර්තමානයේදී සිංහල ජාතිකවාදීන් “ව්‍යවස්ථා සංශෝධන න්‍යාය පත්‍රයන් කඩාකප්පල් කිරීමේ තදින්ම නිමග්නව සිටීම” බවටයි.

යාපනයේ වෙඩිතැබීම: හමුදා ඉවත් කරන ලෙසට බලපෑම්

මෙම සතියේදී යාපනයේ වූ වෙඩිතැබීමකින් අවුරුදු 24 ක් වයසැති යෞවනයෙක් මරණයට පත් විනි. දමිළ පුවත්පත් මගින් මෙම සිදුවීම දැක තිබුණේ, යාපනය අර්ධද්වීපය පුරා පැතිර යන ප්‍රචණ්ඩත්වයේ සහ අවනීතියේ සංස්කෘතියක් පසුතලයේ තබමිනි. මේ සම්බන්ධයෙන් වූ මූලික වාර්තාවන්ගෙන් අපරාධකරුවන්ව හඳුනාගෙන නොතිබුණු නමුත්, යාපනය මූලික කොටගත් පුවත්පත්  තුළ වූ ප්‍රවෘත්ති බුලටීනයන් මගින් පසුව නාවික හමුදාවේ බුද්ධි අංශ සහ විශේෂ කාර්ය බලකාය (එස්.ටී.එෆ්) මෙම අපරාධය හා සම්බන්ධ විය හැකි බව සඳහන් කොට තිබුනි. ප්‍රවෘත්ති වාර්තා මගින් අඟවා තිබූ කරුණ වූයේ, බුද්ධි අංශ සාමාජිකයින් විසින් නවත්වන ලෙසින් අතින් සංඥා කිරීමෙන් පසුවත් මෙම තරුණයා සිය යතුරු පැදිය නොනවත්වාම ධාවනය කිරීම නිසා ඔහුට වෙඩි තබා ඇත යනුවෙනි. උදයන් කතුවැකිය මගින් නිරීක්ෂණය කොට තිබුණේ, මේ මගින් නිරාවරණය වන්නේ “යුද සමයේ මානසික භාවයක්” බවයි. යාපනයේ සිවිල් ජනතාව සහ හමුදා ජනගහණය 2:1 ක අනුපාතයට වන්නේය යන කරුණ පෙන්වා දෙමින් එම කතුවැකියෙන් තවදුරටත් තර්ක කොට තිබුණේ, මෙම කලාපය අස්ථාවර කිරීමේ යුද හමුදාවේ භූමිකාව මෙම සිදුවීම මගින් හුවා දැක්වීම පමණක් සිදුවන බවටයි.

මෙසේ දමිළ පුවත්පත් මගින් යාපනයේ හමුදා ‍රැඳී සිටීම “ආරක්ෂාවට වන තර්ජන” සමගින් සම්බන්ධ කරමින්, උතුරින් හමුදා තව තවත් ඉවත් කිරීමක් කරන ලෙසින් ඉල්ලා සිටින්නට යෙදිණි. කෙසේ වුවත් මෙම ප්‍රතිචාරය සිංහල පුවත්පත් වලට ප්‍රතිවිරුද්ධ විණි. සිංහල පුවත්පත් මගින් උතුරේ සිදුවන අපරාධ සම්බන්ධ වාර්තා නිරන්තරයෙන්ම නිර්දේශ කරන්නට යෙදුණේ, උතුරේ හමුදා බලය වඩාත් ශක්තිමත් කිරීමයි.

 

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top