මහවිරු සුසානයේ ශ්‍රමදානයට හමුදා කඳවුර හරස් වෙයි | VIDEO

 

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අත්පත් කරගෙන පිහිටුවන ලද කඳවුරකට යට කොට ඇති එල්ටීටීඊ මහවිරු සුසාන භූමියක් ශුද්ධ පවිත්‍ර කිරීමට ගිය දෙමළ දේශපාලකයන් කිහිප දෙනකු ඇතුළු ඥාතීන් පිරිසක් හමුදා නිලධාරීන් විසින් වලක්වා තිබේ.

මේ මාසයේ යෙදෙන අනුස්මරණ සඳහා විස්වමඩු වේ තේරාවිල් හි කඳවුරු භූමිය තුල පිහිටි එල්ටීටීඊ සුසාන භූමිය ශ්‍රමදානයෙන් පිරිසිදු කිරීමට ගිය කණ්ඩායමකට හමුදාවේ උසස් නිලධාරීන් පවසා තිබුනේ ඉහල නිලධාරීන්ගේ අවසරයකින් තොරව එම වතාවත් කිරීමට ඉඩ දිය නොහැකි බවයි.

එල්ටීටීඊ පාලනය යටතේ පැවති කිලිනොච්චි නගරය 2009 ජනවාරි මස මුලදී අල්ලා ගන්නා අවස්ථාවේ විස්වමඩු සොහොන් කොත්  නිරුපද්‍රිතව තිබෙනු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද ඡායාරූප වල දැක්වේ.

පසුව සුසාන භුමිය මැදි කොට හමුදා කඳවුරක් ඉදි කර තිබෙන අතර විසි දහසකට අධික එල්ටීටීඊ සාමාජික සංඛ්‍යාවක් වෙනුවෙන් උතුරු නැගෙනහිර ඉදිකර තිබී රජයේ යුද හමුදා විසින් යුද සමයේත් ඉන් අනතුරුවත් විනාශ කරන ලද සුසාන භූමි 24කට වැඩි ගණන අතරින් විශ්වමඩු ප්‍රධාන එකකි.

කිලිනොච්චියේ 57 සේනාංකයේ විශේෂ බලකා අණදෙන නිලධාරියාගේ අවසරයකින් තොරව එහි ශ්‍රමදාන කටයුතු වලට ඉඩ දිය නොහැකි බව තේරාවිල් කඳවුරේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් ඥාතීන් සමග ගිය උතුරු පළාත් හිටපු අධ්‍යාපන හා ක්‍රීඩා  අමාත්‍ය ටී. කුරුකුලරාසාටත් පළාත් සභා මන්ත්‍රී සිවනේසම් සුබ්‍රමනියම් පසුපතිපිල්ලෙයිටත් දැනුම් දී තිබේ.

ආපසු හැරී ගිය සභිකයන් ඇතුළු ඥාතීහු කඳවුරු පරිශ්‍රයෙන් පිටත වූ සුසාන භූමියේ කොටසක් එළි පෙහෙළි කිරීමට පියවර ගත් බව ගගන කිලිනොච්චි වාර්තාකරු පවසයි.

දහස් සංඛ්‍යාත දෙමළ ජන සහභාගිත්වයකින් යුතුව 2008න් පසු පළමු වතාවට මහවිරු දිනය උතුරු නැගෙනහිර ප්‍රසිද්ධියේ සමරන ලද්දේ පසුගිය අවුරුද්දේය.

ශ්‍රී ලංකාවේ සිදුවූ ආකාරයේ විනාශයක් නැවත සිදු නොවීමට නම් යුද්ධයෙන් මළවුන් සැම අනුස්මරණය කිරීමත් රාජ්‍ය ප්‍රතිපත්තියේ අංගයක් විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ආණ්ඩුවට නිර්දේශ කර තිබේ.

Related posts

Comments are closed.

Top