“පැරිස් සම්මුතියට” සිරියාවත් එකඟයි, ඇමරිකාව හුදකලා වෙයි

 

ලෝක පරිමානව පොසිල ඉන්ධන භාවිතය අවම කරමින් විකල්ප බලශක්ති ප්‍රභවයක් උත්පාදනය කරගැනීම උදෙසා වන “පැරිස් දේශගුණ සම්මුතිය” සඳහා අත්සන් තැබීමට සිරියාව තීරණය කර තිබේ.

මෙම තීරණයත් සමඟ සම්මුතියට එකඟ නොවන එකම රට ලෙස ඇමරිකා එක්සත් ජනපදය හුදෙකලා වී ඇත.

දේශගුණ විපර්යාසයන්ට පිළියම් සෙවීමේදී ලෝකයේ සියලුම රටවල් ඒකාබද්ධව කටයුතු කිරීම සඳහා මෙම ගිවිසුම පිහිටවනු ලැබුවේ 2015 දිය.

එම වසර තුලදී සම්මුතියට අත්සන් නොකළ රටවල් අතර පසුවූයේ නිකරගුවාව සහ සිරියාව පමණි. කෙසේ වෙතත් නිකරගුවාව පසුගිය ඔක්තෝබරයේදී ඒ වෙනුවෙන් සිය එකඟතාව පල කර තිබුණි.

පැරිස් සම්මුතියෙන් තමන් ඉවත් වන බව ජුනි මසදී ඇමරිකා එක්සත් ජනපදය පැවසුවත් ගිවිසුමෙහි නීති වලට අනුව 2020 වනතෙක් එය ක්‍රියාත්මක කළ නොහැකිය.

එසේම එළැඹෙන දෙසැම්බරයේ දී පැරිස් නුවර පැවැත්වීමට නියමිත දේශගුණ සමුළුව සඳහා එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා නොකරන බව ප්‍රංශ බලධාරීහු පවසති.

සම්මුතියේ ඉදිරි ගමන සඳහා මුල්‍ය සහ ව්‍යාපාරමය වශයෙන් උපකාරී වන “සමගි සන්ධානයක්” ගොඩනැගීම අරමුණු කරගනිමින් සමුළුව සඳහා රටවල් 100 කට අධික සංඛ්‍යාවකට ආරාධනා කර ඇතැයි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ පුද්ගලික සහායකයකු පවසා තිබේ.

සිරියාව සහතික දෙයි

“පැරිස් සම්මුතිය සඳහා සිරියාව ද සිය දායකත්වය ලබා දෙන බව මම සහතික කොට පවසමි,” යැයි එරට නියෝජ්‍ය පරිසර අමාත්‍ය වාඩා කට්මාවී පවසා ඇත.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ රටවල් 196 ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ජර්මනියේ බොන් නුවර පැවැත්වෙන දේශගුණ සාකච්ඡා අතරතුරදීය.

හැකි ඉක්මනින් සම්මුතිය සඳහා අත්සන් තබන බව ද ඔහු එහිදී පවසා තිබේ.

දේශගුණ විපර්යාස පිළිබඳ ලොව ප්‍රථම විශාල ගිවිසුම වන්නේ පැරිස් සම්මුතිය යි. ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක දෙකට වඩා අඩුවෙන් තබා ගැනීම මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණයි.

Related posts

Comments are closed.

Top